පැරිස් සම්මුතියෙන් ඉවත් වූ ට්‍රම්ප්ට විවේචන


ප්‍රංශයේ පැරිස් නුවරදී 2015 වසරේදී අත්සන් තැබූ ‘පැරිස් සම්මුතියෙන්’ ඉවත් වීමට තීරණය කිරීම නිසා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ජාත්‍යන්තරයෙන් දැඩි විවේචනයක් එල්ල වී තිබේ. ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම ගැන දැඩි ලෙස කනගාටුවට පත්වන බව සඳහන් කර තිබෙන ජර්මානු චාන්සලර් ඇන්ජෙලා මර්කල් කිසිවකුට හෝ කිසිවකට අප නැවැත්විය නොහැකි බව ද සඳහන් කර තිබේ.

“ඇමෙරිකාව පැරිස් සම්මුතියෙන් ඉවත්වීම කනගාටුවට කරුණක්. එහෙම වුණත් අපි පැරිස් සම්මුතිය ඉදිරියටත් ක්‍රියාත්මක කරනවා. කිසිවකුට හෝ කිසිවකට එය නවත්වන්න බැහැ” යැයි ජර්මානු චාන්සලර්වරියා ප්‍රකාශ කර ඇත. 

පැරිස් සම්මුතියෙන් ඉවත්වීම නිසා ඇමෙරිකාවට දැඩි ලෙස පීඩාවට පත්වීමට සිදුවන බව පෙන්වාදෙන ජර්මානු චාන්සලර්වරිය ඇමෙරිකාවට රැකියා මිලියන ගණනක් අහිමි වනු ඇතැයි ද අවධාරණය කළාය. 

ප්‍රංශයේ නව නායක එමැනුවෙල් මැක්රෝන් මහතාද ට්‍රම්ප්ගේ තීරණය විවේචනය කර ඇති අතර ඇමරිකානු ජනාධිපතිවරයාට එරෙහිව ලොව ස්ථාන කිහිපයක විරෝධතා ද පැවැත්විණි. 

ගෝලීය උෂ්ණත්වය ඉහළයාම සෙල්සියස් අංශක 2 වඩා අඩු අගයක පවත්වාගැනීම සඳහා ඇමෙරිකාව ඇතුළු එක්සත් ජාතීන්ගේ රටවල් 187 ක් 2015 වසරේදී ප්‍රංශයේ පැරිස් නුවරදී එකඟත්වය පළ කළ අතර එය කඩිනමින් ක්‍රියාත්මක කිරීම සඳහා පෙරේදා (31) යුරෝපා සංගමයේ සහ චීන නිලධාරීහූ එකඟතාවකට ද පැමිණියහ. 

ඇමෙරිකාවේ සිදුවන පරිසර දූෂණ නිසා හේතුවෙන් මේ සියවස අවසාන වනවිටදී ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.3 කින් ඉහළ යනු ඇතැයි එක්සත් ජාතීන්ගේ ලෝක කාලගුණ විද්‍යා සංවිධානය අනතුරු ඇඟවීය. 
ඒ.එෆ්.පී/රොයිටර් 055