
(ටෝනි කරුණානායක)
නිධානයකින් ගත් ඒවා යැයි කියන වටිනාකමක් ඇති භාණ්ඩ රැසක් සමඟ හෝටල් හිමිකරුවෙකු අද (01) අත්අඩංගුවට ගත්බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.
ගජමුතු යැයි කියන සත්ව කොටස් 05 ක් , වාලම්පුරි 05 ක්, දලං කෑලි 05 ක්, කුඩා මැණික් ගල් 28 ක්, බුදුපිළිම 02 ක් , දඹරන් හෝ රන් ආලේපිත සුරුවමක් ඇතුළු තවත් මිල කළ නොහැකි භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිසිය පැවසීය.
සැකකරු මිනුවන්ගොඩ බෝටියාවත්ත ප්‍රදේශයේ කාමර පහසුකම් ලබා දෙන හෝටලයක් පවත්වාගෙන යමින් කාන්තාවන් මුදලට අලෙවි කරන බවට මිනුවන්ගොඩ පොලිසියට ලද තොරතුරක් මත කාන්තා පොලිස් නිලධාරිණියක උපාය දූතයෙකු ලෙස එම හෝටලය වෙත පිටත් කර එම හෝටලයේ ගණිකා සේවයේ යෙදවීම සඳහා යොමු කර සිටි 26 හැවිරිදි තරුණියක් සහ 56 හැවිරිදි කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබේ .
එම අවස්ථාවේ හෝටලයේ හිමිකරු ලෙස කටයුතු කළ 65 හැවිරිදි සැකකරු හෝටලයේ කාර්යාලය තුළට ගොස් එම කාර්යාලයේ දොර වසාගෙන තිබේ.
ඉන් අනතුරුව එම කාර්යාලය පරීක්ෂා කර පැරණි භාණ්ඩ තොගයක් පොලිස් භාරයට ගෙන ඇති අතර එම භාණ්ඩ අතර මැණික් ගල් ඔබ්බවන ලද පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති කැටයම් සහිත පිහිතලයක් , පුස්කොලපොතක් , සත්ව කොටස් ඇතුළු තවත් භාණ්ඩ රැසක් ද අත්අඩංගුවට ගෙන තිබේ .
විවිධ සංවිධානවලට අයත් රබර් සීල් 08 ක් සහ රුපියල් 55,140 ක මුදලක් ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පැවසීය.

