පැමිණිල්ල ලැබෙන්නත් පෙර හොරු අල්ලයි


(ෂේන් සෙනෙවිරත්න)

කටුගස්තොට ඉනිගලින් ත්‍රිරොද රියක් සොරකම්කර එම ත්‍රිරෝද රියෙන් ගොස් බරිගම කඩයකට සුද්දයක් දැමූ බව කියන දෙදෙනකු පැමිණිල්ල ලැබීමටත් ප්‍රථම අත්අඩංගුවට ගත් පුවතක් කටුගස්තොට පොලිසියෙන් වාර්තා වෙයි.

කටුගස්තොට පොලිසියේ පොලිස් සැරයන් 57809 විජේබණ්ඩාර සහ පොලිස් කොස්තාපල් 73456 චාමර යන මහත්වරු ද රාත්‍රී මුර සංචාරයේ යෙදෙන අවස්ථාවේ සැකකටයුතු ආකාරයට අලුයම් කාලයේ සැරිසරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු පරික්ෂා කිරීමේදී ඔවුන් සතුව රුපියල් 40,000 ක මුදලක් සහ භාණ්ඩ තිබීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.

හිරු උදාවීමත් සමඟ කටුගස්තොට පොලීසියට පැමිණි පුද්ගලයන් දෙදෙනකු ත්‍රීරෝද රථයක් නැති වීමේ සිද්ධියක් සහ සිල්ලර බඩු කඩයක් කඩා එහි මුදල් සහ භාණ්ඩ සොරා ගෙන යාමේ සිද්ධියක් සම්බන්ධ පැමිණිලි දෙකක් ඉදිරිපත් වී තිබේ .

පැමිණිලි ලැබීමත් සමඟම වහාම ක්‍රියාත්මක වූ කටුගස්තොට පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතා ඇතුළු අපරාධ අංශයෙ නිලධාරීන් පොලිස් ස්ථානයේ කූඩුවේ සිටින සැකකරුවන් දෙදෙනා ගෙන ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා එම සොරකම් දෙක සිදුකළ බව පිළිගෙන තිබේ .