(ඩයනා උදයංගනී)
පාස්කු ඉරිදා දින ත්‍රස්ත ප්‍රහාරයේ චූදිතයන් සම්බන්ධ විමර්ශන කෙරෙහි විශේෂ අවධානයක් යොමුකර ඔවුයන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට පියවර ගන්නා බව මෙරට 48 වැනි නීතිපතිවරයා ලෙස වැඩ භාරගත් ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවේ පැවසීය.
කොළඹ වරායට ආසන්න මුහුදේ දී ගිනිගැනීමට ලක්ව ඇති එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් සමුද්‍රීය පරිසරයට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය පියවර කඩිනමින් ඉටුවනු ඇතැයි ද නව නීතිපතිවරයා පැවසීය.
නව නීතිපති සංජය රාජරත්නම් මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයට අද (31) පැමිණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදීය.
නීතිපති දෙපාර්තමේන්තුවට අලුතින් ගොඩනැඟිල්ලක් ලබාදීම ගැන අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළකළ රාජරත්නම් මහතා නීතිපති දෙපාර්තමේන්තුව පිහිටා ඇති පැරණි ගොඩනැගිල්ල පෞරාණික වටිනාකමකින් යුත් එකක් බැවින් එහි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රජයේ සහය ලබා දෙන්නැයිද අගමැතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
තමන් නීතිපති ධුරයේ වැඩ භාර ගත් බව සැලකිරීමට පැමිණි නව නීතිපතිවරයාට සුබ පැතුම් එක් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොළඹ වරායට නුදුරු මුහුදේ ගිනි ගැනීමට ලක් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මගින් සමුද්‍රීය පරිසරයට සිදුවී ඇති හානිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කළේය.
මිනීමැරුම් නඩු සම්බන්ධයෙන් කෙරෙන ලඝු නොවන නඩු කටයුතු මහේස්ත්‍රාත් අධිකරණයේ විමසීමට ගැනීමේ දී ඒ සම්බන්ධව මෙයට පෙර නීතිපති දෙපාර්තමේන්තුවේ රජයේ නීතිඥවරුන්ගේ සහය ලබා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වුවත් දැනට එසේ නොවීම නිසා ඇතිව තිබෙන ගැටලු පෙන්වා දී ඒ සම්බන්ධව අධිකරණ අමාත්‍යාංශය හා සාකච්ඡා කොට අවශ්‍ය පියවර ගන්නැයි අග්‍රාමාත්‍යවරයා නීතිපතිවරයාට උපදෙස් දුන්නේය.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් චේතිය ගුණසේකර සහ අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරුන් වන චමින්ද කුලරත්න, ගනේශ් ධර්මවර්ධන යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

