පාස්කු ප්‍රහාරය ගැන සෙවීමේ කමිටුව හමුවට නාලක ද සිල්වා කැඳවයි


(නිමල කොඩිතුවක්කු)

පාස්කු ප්‍රහාරය ගැන විභාග කරන කමිටුව හමුවට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ලබන සතියේ කැඳවීමට නියමිතය.
 
හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට කැඳවන්නේ මේ වනවිට එහි හෙළිව ඇති තොරතුරු පිළිබඳව කරුණු විමසීමටය.
 
නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතීත්වයෙන් යුතු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව ඉකුත් බදාදා සාක්ෂි විභාගය ආරම්භ කරනු ලැබීය.
 
කතානායක කරූ ජයසූරිය හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ගනු ලැබූ තීරණයකට අනුව ඉහත පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මාධ්‍යයට විවෘත කරන ලදී.
 
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූ ජාතික තවුහීත් ජමාත් සංවිධානයේ මරාගෙන මැරෙන කණ්ඩායමේ නායක මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් අත්අඩංගුවට ගැනීමට 2018 ජූනි මස 02 දින ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ වශයෙන් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ගනු ලැබූ වරෙන්තුව සහ ඉන් පසුව අනුගමනය කළ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පතිගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය.