(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනා ඇතුළු පොලිස් නිලධාරීන් නව දෙනාට එරෙහිව දැඩි විනය පියවර ගැනීම සඳහා වූ චෝදනා පසුව සකස් කර ඉදිරි දින කිහිපයක් ඇතුළතදී ජාතික පොලිස් කොමිසම වෙත කඩිනමින් යැවීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් කටයුතු කරනු ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
ඉකුත් අප්‍රේල් 21 පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පත්කළ ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව අනුව නීතිපති වැඩ බලන පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතාට ලබා දුන් උපදෙස් අනුව එම පොලිස් නිලධාරීන්ගේ අකාර්යක්ෂමතාවය හා වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් මූලික විමර්ශනයක් පවත්වා චෝදනා ඇතුළත් වාර්තාව ලබා දීමට නියමිත බව එම නිලධාරියා පැවැසීය.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන දේශබන්දු තෙන්නකෝන් , ප්‍රියලාල් දිසානායක, ලලිත් පතිනායක , මීගමුව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඒ.කේ අතුකෝරල , පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර , සහකාර පොලිස් අධිකාරීවරුන් වන සිසිර කුමාර , කේ.එම් කුමාරසේකර , කටාන පොලිස් ස්ථානාධිපති කේ.ඩී නවරත්න හා ජම්පටා වීදියේ පොලිස් ස්ථානාධිපති එම් උදයංග යන මහත්වරුන් මෙම සිද්ධීන් සමඟ ස්ථාන මාරු කෙරිණි.
විනය පියවර ගැනීම සඳහා වූ වාර්තාව සැකසීම සඳහා අදාල පොලිස් නිලධාරීන් නව දෙනාගෙන්,ප්‍රහාර වලින් මියගිය අයගේ ඥාතීන්ගෙන් මෙන්ම තුවාල ලැබූවන්ගෙන් ප්‍රකාශ ද ලබා ගත් බවත් ඊට අමතරව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් ප්‍රකාශ ද ලබාගත් බව උසස් පොලිස් නිලධාරියා කීය.

