පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් කුඩා දරුවන් 45 ක් මරුට


(හර්ෂණ තුෂාර සිල්වා)

කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් තුනකට සහ කතෝලික දේවස්ථාන තුනකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් ශ්‍රී ලංකාවේ සහ වෙනත් රටවල කුඩා දරුවන් 45 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (යුනිසෙෆ්) අද (23) නිවේදනය කළේය. 

මිලේච්ඡ ප්‍රහාරවලින් විපතට පත්වූ සියලු දෙනාට කනගාටුව පළ කරන බව ද එම අරමුදල කියයි. 

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් මෙරට සහ විදේශවල කුඩා දරුවන් 45 දෙනකු මියගොස් ඇතැයි තොරතුරු ලැබී තිබූ බවත් තවත් දරුවන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවත් එම සංවිධානය කියයි. රෝහල්වල ප්‍රතිකාර ලබන ඇතැම් කුඩා දරුවන් හදිසි ප්‍රතිකාර ඒකකවල ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වී සිටින බව ද එම සංවිධානය පවසයි. 

බොහෝ දරුවන්ට ඔවුන්ගේ මවුපියන්ගෙන් එක් අයකු හෝ අහිමි වී ඇති අතර ඇතැම් අයට මව සහ පියා යන දෙදෙනාම අහිමි වී ඇතැයි ද එම සංවිධානය සඳහන් කරයි. තවත් දරුවන් බොහෝ පිරිසක් මෙම මිලේච්ඡ ප්‍රචණ්ඩත්වය දැකීමෙන් කම්පනයට පත්ව ඇතැයි ද යුනිසෙෆ් සංවිධානය කියයි.

ප්‍රහාරවලින් මියගිය දරුවන්ගේ සංඛ්‍යාව ඉදිරියේදී වැඩි වීමේ අවදානමක් ඇතැයි ද එම සංවිධානය තවදුරටත් සඳහන් කරයි.

ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරවලින් සහ අනෙකුත් පිපිරීම්වලින් මියගිය ගණන 321ක් දක්වා ඉහළ ගොස් තිබූ අතර තුවාල ලැබූ පිරිස 500 ඉක්මවා තිබිණි.