කොටදෙණියාවේ බඩල්ගම අකරන්ගහ සේයා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් බදාදා (23) සවස අත්අඩංගුවට ගත් සැකකරු ගෙන එතියි ලැබුණ තොරතරුකට අනුව ගම්වාසීහූ විශාල පිරිසක් බ්‍රහස්පතින්දා (24) සවස සේයා දැරියගේ නිවස අසලට රැස්වූහ.
කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති උදය කුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්ද එම ස්ථානයට ආහ.
තෙවැනි සැකකරුට නිසි දඩුවම් ලබා දෙන ලෙස පොලිසියට බල කළ ගම්වාසීහූ සැකකරු එම ස්ථානයට රැගෙන එනතුරු සේයාගේ නිවස අසලින් නොයන බව කීහ.
සේයාගේ ඝාතනය සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශනය සිදු කරන බවත් සැකකරුවනට ගැලවී යාමට ඉඩ නොදෙන බවත් කොටදෙණියාව පොලිසියේ ස්ථානාධිපති උදය කුමාර මහතා ගම්වාසීන්ට පැහැදිලි කළේය.
එළිවෙනතුරු නිවස අසල රැදී සිටියත් සැකකරු සේයාගේ නිවස අසලට නොගෙන එන බව කී ස්ථානාධිපතිවරයා නිවස අසලින් පිටව යන ලෙස ගම්වාසීන්ගෙන් ඉල්ලීය.
පැය තුනකට අධික කාලයක් නිවස අසල රැදී සිටි ගම්වාසීහු අද (24) සවස 5.30 පමණ ගම්වාසීහු නිවස අසලින් ඉවත් වුහ. එත් කීප දෙනෙක් පමණක් නිවස අසල රැදී සිටියහ.
ගම්වාසීන් නිවස අසළට රැස්වූ අවස්ථාවේ සේයාගේ මව සහ පියා නිවස තුළ සිටියහ.
ලංකාදීපයට අදහස් දැක්වු සේයාගේ පියා මෙසේ කීය,
‘දුවගේ ඝාතනයට නියම සැකකරු අල්ලා ගත් බව අපට දැන ගන්නට ලැබුණා. තවමත් විමර්ශන කටයුතු අවසන් නැහැ. ඉවසීමෙන් සහ සන්සුන්ව පොලිස් විමර්ශන වලට සහාය දෙන මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. කලින් අත්අඩංගුවට ගත් පාසල් සිසුවා සහ අනිත් පුද්ගලයා සැක බව මම කිසිම වෙලාවක කිව්වේ නෑ. ඒ පාසල් ශිෂ්‍යාට මමත් උගන්වා තියෙනවා. ඔවුන් අත්අඩංගුවට ගත්තේ පොලිස් විමර්ශන මතයි.අපේ කීමට නෙමෙයි. ඔවුන්ටත් සාධාරණයක් වෙයි කියා මම හිතනවා. පොලිසිය සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව මේ විමර්ශන වලදී සෑහෙන්න මහන්සි වුණා. ඒ බව අපි හොදින්ම දන්නවා. අපිත් හැකි අයුරින් සහයෝගය දුන්නා‘
සේයාගේ මව මෙසේ පැවැසුවාය -
‘නියම සැකකරු අත්අඩංගුවට ගත් බව දැන ගන්න ලැබුණා. මේ සිද්ධියට මුලින්ම අපේ පවුල ගැනත් සැකකලා. අපි හිතුවා කවදා හරි ඇත්ත එළි වෙයි කියලා. දුව නැතිවුනේ උපන් දිනය ළංවෙලා. මාසයකට පෙර සිටි දුව උපන්දිනය ගැන කියමින් සිටියේ. දුව හරි ආසයි විවිධ ඇදුම් ඇඳ ලස්සන බලන්න. අපි දුව ගැන සොයා නොබැලුවා නොවේ. දුව අපිත් එක්ක නිදාගෙන වෙන දවස් වලටත් නින්දෙන්ම ආච්චි අම්මා ගාවට යනවා. සිද්ධිය වුණ දවසෙත් අපි හිතුවේ එහෙමයි. මේ වගේ මනුස්සයෙක් මේ පැත්තේ ඉන්නවා කියලා දැන ගන්නවා නම් අපි මීටත් වඩා පරිස්සම් වෙනවා. දුව මරපු පුද්ගලයාට නිසි දඩුවම් ලබා දේවි යැයි අපි විශ්වාස කරනවා‘

