පාසල් සිසුන්ට දියර කිරි දීමේ වැඩසටහනක්


නාලක සංජීව දහනායක
 
පාසල් සිසුන් සඳහා දියර කිරි ලබාදීම සඳහා කඩිනම් වැඩ පිළිවෙලක් සකස් කරන බව ධීවර ජලජ සම්පත් හා ග‍්‍රාමීය ආර්ථික අමාත්‍ය විජිතමුණි සොයිසා මහතා අද (9) පැවැසීය. 

 
මෙම වැඩසටහන පළමුව ජාතික පාසල්වලවල ක්‍රියාත්මක කර පසුව සියලුම පාසල් සඳහා   ක්‍රියාත්මක කරන බවත්, මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාකිරීමට  බපාපොරොත්තු වන බවද අමාත්‍යවරයා කීය.
        
 කොළඹ, මාලිගාවත්තේ පිහිටි ධීවර, ජලජ සම්පත් හා ග‍්‍රාමීය ආර්ථික අමාත්‍යංශයේ දී අද (9) පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
 
එහිදී අමාත්‍යවරයා මෙසේද කීය.
 
‘අපේ රටේ දියර කිරි භාවිතය ඉතාම පහළ මට්ටමකට වැටිලා. මෙය ඉතාම නරක තත්ත්වයක්. මව්කිරිවලට අමතරව බොන්න තියෙන හොඳම පානය එළකිරි. නමුත් දියර කිරි බිව්වම සෙම හැදෙනව කියල මිත්‍යා මතයක් තියෙනවා. අපි පිටරටින් ගෙන්වන කෘතීම කිරිවර්ගවලට හුරුවෙලා. ඒ නිසා සියලූම දෙනා විවිධ ලෙඩරෝගවලට ගොදුරුවෙලා. මේ තත්ත්වයෙන් මිදෙන්න අපි දියර කිරි භාවිතය වැඩිකරන්න වැඩ පිළිවෙලක් සකස් කරනවා.
 
එමෙන්ම මේ වනවිට කෘෂි භෝග අලෙවිකිරීම කිරීමේදී ගොවීන් විවිධ ප‍්‍රශ්න වලට මුහුණ දෙනවා. මේ ප‍්‍රශ්නයට විසඳුමක් ලෙස ආර්ථික මධ්‍යස්ථානවල ආහාර කල් තබාගැනීම සඳහා ශීතාගාර හදන්න කටයුතු කරනවා. පළමු ශීතාගාරය දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හදනවා. අලූතින් හදන ආර්ථික මධ්‍යස්ථාන සඳහා ආහාර කල් තබාගැනීමේ නව තාක්‍ෂණය හඳුන්වා දීමට කටයුතු කරනවා.‘ යැයි ද අමාත්‍යවරයා පැවැසීය.