සිරංගිකා ලොකුකරවිට
සාමාන්‍ය පෙළ කරලා උසස් පෙළට යන සෑම ළමයකුටම ටැබ් දීමේ වැඩපිළිවෙල නතර වුණත් යළි එය ඉතා ඉක්මණින් ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා මේ බව කියා සිටියේ අද (22) ගාල්ල ශාන්ත ඇලවීෂියස් විද්‍යාලයේ ක්‍රීඩා සංකීර්ණය හා පිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
අකිල විරාජ් මහතා මෙසේද කීය.
‘‘ටැබ් දීම තාවකාලිකව නතර වුණා. ටැබ් යළි ලබාදීමට අවශ්‍ය අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා අවශ්‍ය ලේඛන සකස් කර තිබෙන්නේ. ඉතා ඉක්මණින් පාසල් දරුවන්ට ටැබ් යළි දෙනවා. තොරතුරු තාක්ෂණය සමඟ අපේ අධ්‍යාපනය ඉදිරියට යා යුතුයි. ඉස්සර අපි පාසල් යන කාලේ පාසල් පරීක්ෂකවරු හිටියා. ඔවුන් පාසලට එන දිනවල දී විදුහල්පතිවරු, ගුරුවරු බොහොම ප්‍රවේශමෙන් ඒ පැමිණීමට මුහුණ දෙනවා.
ඔවුන් පාසල්වල ගුණාත්මක බව ගැන සොයා බැලුවා. අපි මේ සඳහා ස්වාධීන සුපරීක්ෂණ මණ්ඩලයක් පත්කරනවා. අධ්‍යක්ෂ ජනරාල් කෙනෙක් පත්කරලා, ඒ යටතේ පළාත් නමයට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු නම දෙනෙක්, සහකාර කොමසාරිස්වරු පත්කරනවා.
මේ සඳහා දැනටමත් අවශ්‍ය පියවර අරගෙන තිබෙන්නේ. ඔවුන් පාසලේ ඉගෙනුම් හා ඉගැන්වීමේ ක්‍රමය විතරක් නොවෙයි භෞතික සම්පත් ගැනත් දරුවන්ගේ කාර්ය සාධන ගැනත් අවධානය යොමු කරනවා. එමගින් අධ්‍යාපනය තවත් ඉහළ තලයකට ගෙන යන්නට අපට හැකි වේවි.‘‘
මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා සහ මොහාන් පී. ද සිල්වා මහතා ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීහු රැසක් එක්ව සිටියහ.