පාවෙන අවි ගබඩා සිද්ධියට ලොක්කන් දෙදෙනෙක් 19ට පෙර අත්අඩංගුවට ගැනීමට උපදෙස්


(මනෝප‍්‍රිය ගුණසේකර)
 
ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරිය ලබන 19 වැනිදාට පෙර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට අද (17) උපදෙස් ලබාදුන්නේය.
 
ජාතික පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක මහතා සහ ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දමයන්ති ජයරත්න මහත්මිය අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදෙන්නැයි ඉල්ලමින් වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා නීතීපති ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගෙන් කළ විමසීකට අනුව එම උපදෙස් ලබාදුන් බව නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය දැනුම් දුන්නාය.
 
සමන් දිසානායක මහතා සහ දමයන්ති ජයරත්න මහත්මිය අත්අඩංගුවට ගැනීමට ඇති හේතූ පහදමින් නීතිපති දප්පුල ද ලිවේරා මහතා වැඩබලන පොලිස්පතිවරයාට කරුණු දැනුම්දෙමින් සමන් දිසානායක මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේදී ඔහු ඉදිරිපත් කළ කරුණු නොපිළිගැනීම නිසා ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම නිශ්ප‍්‍රභ කොට ඇති බව පෙන්වා දී ඇත.
 
ඒ අනුව ඔහුද ආරක්‍ෂක අමාත්‍යංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් දමයන්ති ජයරත්න මහත්මියද වහාම අත්අඩංගුවට ගෙන ලබන 19 වැනිදාට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස දැනුම් දී ඇත.
 
මීට අමතරව සමන් දිසානායක මහතා විසින් තමන්ට අපේක්‍ෂිත ඇප නියම කරන්නැයි ඉල්ලමින් කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබූ අපේක්‍ෂිත ඇප ඇයැදුම් පත‍්‍රයද කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා විසින් ප‍්‍රතික්ෂේප කරන ලදී.