පාර්ලිමේන්තුව ඉල්ලුවොත් හම්බන්තොට ව්‍යාපෘතිය විගණනය කළ හැකියි - විගණකාධිපති


චමිල් රූපසිංහ
 
හම්බන්තොට වරාය ව්‍යාපෘතිය විශේෂ ව්‍යාපෘතියක් යටතේ විගණනයට යටත් නොකිරීම හේතුවෙන් එහි මූල්‍ය අවභාවිත සිදුවූයේද නැද්ද යන්න සම්බන්ධයෙන් විගණන දෙපාර්තුමේන්තුවට පරීක්ෂණ කිරීමේ හැකියාවක් නොමැති බවත්, පාර්ලිමේන්තුව විශේෂ ඉල්ලීමක් කළහොත් ඒ සඳහා  අවකාශ තිබෙන බවත් විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවැසිය.
 
තව දුරටත් විගණකාධිපති යටතට නොගැනෙන සමාගම් රැසක් තිබෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
 
විගණකාධිපතිවරයා මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන්  බැහැදැක ආශීර්වාද ලබා ගැනීමෙන් පසු අද (02) මාධ්‍යය හමුවේ අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
 
පසුගිය දශක දෙකක කාලය තුළ විගණනයට යටත් නොවන ආකාරයේ සමාගම් පිහිටුවා රාජ්‍යය ආයතන හරහා විශාල වශයෙන් මුල්‍ය වංචා කිරීමේ සිදුව තිබෙන බවත්, 
ගල් අඟුරු සමාගම, ශ්‍රීලංකා ගුවන් සමාගම වැනි සමාගම් විගණනයට ලක්වුණේ 2015 න් පසු බවත්, දහනව වන ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ කොටස් වලින් 50 % කට වැඩි කොටස් රජයට හිමි සමාගම් විගණනය කිරීමේ බලය විගණාකාධිපතිවරයාට ලැබුණු බවද ඒ මහතා කීය.
 
යෝජිත විගණන පනත 26 වතාවක් සංශෝධනයට ලක්වූ බවත් එසේ තිබියදීත් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුබිම සැකසුණේ ජනපති,අගමැති ආශීර්වාදය මෙයට හිමිව තිබීම නිසා බවද විගණකාධිපතිවරයා කීය.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද මේ සම්බන්ධයෙන් සුබවාදි ආකල්පයක සිටින බවත් මෙයට අකුල් හෙළනු ලබන්නේ වංචාට දූෂණයට අනුගත රාජ්‍යය නිලධාරීන් පමණක් බවත් හෙතෙම අවධාරණය සදහන් කළේය.