
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. අබ්දුල් වාහිද් මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත ලබාදී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහ ලේකම් හංස අබේරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දන්වා තිබේ.
එම්.එස්. අබ්දුල් වාහිද් මහතාගේ ලිපියට අනුව, ඉහත ඉල්ලා අස්වීම 2026 සැප්තැම්බර් මස 14 වැනි දින සිට බලපැවැත්වෙන බවද වැඩ බලන මහ ලේකම්වරයා සඳහන් කර ඇත. ඒ අනුව, දසවැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරයක පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 64(5) වගන්තිය ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබේ.

