පාර්ලිමේන්තු පොලීසියේ තවත් 3කට කොරෝනා


(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු පොලිසියේ තවත් නිලධාරීන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි ඊය (1) හඳුනා ගැනුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ .

මේ නිලධාරීන් තිදෙනා අතර සැරයන්වරු දෙදෙනෙක්ද වෙති .

පාර්ලිමේන්තු පොලිසියේ මේ දක්වා කොරෝනා ආසාදිතවූ නිලධාරීන් සංඛ්‍යාව 9කි.

මින් පස්දෙනකු තවමත් ප්‍රතිකාර ලබන බවද සිව්දෙනකු සුවවී ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසයි .

මෙම ආසාදිතයන් හමුවීමෙන් පසුව පාර්ලිමේන්තු පොලිස් කොට්ඨාශයේ නිලධාරීහු 75දෙනෙක් නිරෝධායනයට යොමු කරනු ලැබ සිටිති. මින් දෙදෙනකු නිරෝධායනයට යොමු කරනු ලැබ ඇත්තේ ගතවූ පැය 24 දීය .

පාර්ලිමේන්තු සංකීර්ණයේ කතානායක කාර්යාලය ,නියෝජ්‍ය මහලේකම් කාර්යාලය ඇතුළු කාර්යාල කිහිපයකින්ද කොරෝනා ආසාදිත සේවකයෝ කිහිප දෙනෙක් පසුගිය දිනවල සොයා ගනු ලැබූහ .

මේ අතර පාර්ලිමේන්තුව ලබන 8 වෙනිදා යළි රැස්වීමට නියමිතය .

පාර්ලිමේන්තු රැස්වීම් ලබන සතියේ පැවැත්වෙන ආකාරය පිළිබඳව තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 7 වැනිදා උදේ 9.30ට පැවැත්වේ .