පාප්තුමෝ ලංකාවෙන් සමු ගනිති


අති උතුම් ශුද්ධෝත්තම  ෆ්‍රැන්සිස් පාප් වහන්සේ  අද උදෑසන සිය ශ්‍රී ලංකා සංචාරය නිමකොට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් පිලිපීනයේ මැනිලා නුවර බලා  දිවයිනෙන් පිටත් වුහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු මැති අැමතිවරු රැසක්   කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ පර්යන්තයේ පැවති සමුදීමේ රාජ්‍ය උත්සවයට පැමිණියහ.

පාප් වහන්සේ රතුපලස මතින් පැමිණ ශ්‍රී ලාංකිකයන්ට ආශිර්වාද කරමින් දිවයිනෙන් සමුගත්හ.

ශ්‍රී ලංකා රජයේ සහ කතෝලික සභාවේ ආරාධනයකට අනුව ඉකුත් 13 වෙනිදා අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්  වහන්සේ වතිකානු රාජ්‍යයේ සිට මෙරටට සැපත් විය.

උන්වහන්සේගේ මෙරටට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වන අතර 2015 වසරේ ප්‍රථම ආසියානු නිල සංචාරයද වෙයි.

උන්වහන්සේ මෙරට රැදි සිටි කාලය තුළ  සර්ව ආගමික නායකයන් හමුවුහ.

පාප් වහන්සේගේ  ශ්‍රී ලංකා සංචාරයේ ප්‍රධාන දිව්‍ය පූජා යාගය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත් වු අතර උන්වහන්සේ  ජෝශප් වාස් මුනිතුමන් ශුද්ධවරයට ඔසවන ලදී.

ඒ අනුව ශුද්ධවු ජෝශප් වාස් මුනිතුමන් ශ්‍රී ලංකාවේ පළමු ශාන්තුවරයා බවට පත් විය.

ඉන් අනතුරුව උන්වහන්සේ  මඩු දේවස්ථානයට ගොස්   යාච්ඥා මෙහෙයක් ද පැවත්වුහ.

පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරය නිමිත්තෙන් විශේෂ සමරු මුද්දර දෙකක් හා රුපියල් 5 සමරු කාසියක් නිකුත් කෙරිණි.

01 02 03