( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අධිකරණයට අපහාස කළැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල ලබන 4 වැනිදා කැදවීමට අභියාචනාධිකරණය අද (28) තීන්දු කළේය.
මෙම පෙත්සම අද (28) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.
එහිදී අදාළ පැමිණිල්ල විභාගයට ගන්නා දිනය තීරණය කිරීම සඳහා එය ලබන 4 වැනි දා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියම කළේය.
පුරවැසි බලය සංවිධානය කැඳවුම්කරුවන් වන මහාචාර්ය සරත් විජේසුරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරු විසින් අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
පැමිණිලිකරුවන් පැවසුවේ 2017 වසරේ අප්‍රේල් මස කොළඹ පැවති මහජන රැස්වීමක දී අදහස් දැක්වූ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබඳව අභියාචනාධිකරණය මගින් ප්‍රකාශයට පත්කරන ලද නඩු තීන්දුවක් දැඩි ලෙස විවේචනය කරමින් කරුණු ඉදිරිපත් කළ බවයි.
ඒ තුළින් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව සුදුසු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

