පාතාලයේ සිව් දෙනෙක් පොලිසියට කොටු වෙති


ඉන්දිකා රාමනායක

මිනීමැරුම් හා කප්පම් ගැනීම්වලට සම්බන්ධ  ප‍්‍රබල පාතාල සමාජිකයකු වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ  ප‍්‍රධාන ගෝලයකු වන පදුමා නැමැත්තා ඇතුලූ සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන  ඒකකය අද (15) ඇල්පිටිය නියාගම තල්ගස්වල ප‍්‍රදේශයේ දී මොවූන් අත්අඩංගුවට ගත්බව එම ඒකකය පවසයි.

සැකකරුවන් සිව්දෙනා සතුව රිවෝල් වර්ගයේ ගිනිඅවයක්, උණ්ඩ 5 ක් අත් බෝම්බයක් ,ටී 56  ගිනිඅවි වලට යොදන උණ්ඩ 5 ක්, ෂොට්ගන් අවියක් හා උණ්ඩයක්, තිබු බව ආරංචි මාර්ග සඳහන් කරයි.

පාතාල සමාජිකයින් පිරිසක්  නියාගම ප‍්‍රදේශයේ නිවසක සැඟව සිටින බවට විශේෂ කාර්ය බලකාය වෙත ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී  පිරිස අත්අඩංගුවට ගෙන තිබුණි.

එම සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමේ දී සැඟව සිටි සෙසු සැකකරුවන් සහ ගිනි අවි,ටී 56 උණ්ඩ  සමඟ අත්අඩංගුවට ගත් බව එම බලකාය කියයි.

සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමෙන් පසු  ඔවුන් පිටිගල පොලිසියට බාර දීමට නියමිතව තිබේ.