පාතාලය මඬින්න ඇමතිගෙන් පොලිස්පතිට උපදෙස්


(ඉන්දිකා  රාමනායක)

විදෙස්ගත පාතාලයන්ගේ ගෝලයින් මර්ධන කිරීමේ මෙහෙයුම් වේගවත් සිදුකර ලෙසට රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ  නීතිය සාමය  පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (11) පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා වෙත උපදෙස් ලබා දුන්නේය.

 

එසේම  දැනට  විශේෂ කාර්ය බලකාය සිදුකරන මෙහෙයුම් තවත් පුළුල් කරන ලෙසත්  සහ එම  මෙහෙයුම් ලිහිල් නොකරන ලෙසටත්  අමාත්‍යවරයා  පොලිස්පතිවරයා වෙත මෙම උපදෙස් ලබා දී ඇත.

 

අමාත්‍යවරයා මෙම  උපදෙස් ලබා දී ඇත්තේ  පොලිස්පතිවරයා හා උසස් පොලිස් නිලධාරීන් පිරිසක් සමග අද රාජ්‍ය පරිපාලන හා කළමණාකරන අමාත්‍යාංශයේ පැවති විශේෂ සාකච්ඡාවකදීය.

 

සෑම දෙනාමට නිදහසේ ජීවත්විය හැකි  රටක් නිර්මාණය  කිරීමේ  වගකීම  පැවැරී ඇත්තේ  නීතිය හා  සාමය පිළිබඳ අමාත්‍යාංශයට බව පැවසු  අමාත්‍යවරයා  ඉන් පොලිසියට පැවරෙන වගකීම් අති විශාල බවත් එය නිසිලෙස අවබෝධ කරගතයුතු බව ද අමාත්‍යවරයා සඳහන්  කළේය.


මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමට  දැඩි අවදානය යොමුකළ යුතු බවත් විශේෂයෙන් පාසල් දරුවන් ඉලක්ක කරගෙන සහ  , සමාජ මාධ්‍ය ජාලා උපයෝගි කරගෙන සිදුකරන මත්ද්‍රව්‍ය ජාවාරම්, වහා මැඩලිය යුතු බවද  එහිදී අමාත්‍යවරයා පොලිස් නිලධාරීන් වෙත  උපදෙස් ලබා දී තිබුණි.


මෙම කටයුතු සදහා  පොලිස් නිලධාරීන්ගේ දායකත්වය  සියයට සියයක් අවශ්‍ය බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.