පාඨලීගේ නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනාට අධිචෝදනා බාරදෙයි


(තිළිණි ද සිල්වා  සහ රංජන් කටුගම්පොළ)

හිටපු ඇමැති පාඨලී චම්පික රණවක මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සෙසු විත්තිකරුවන් දෙදෙනාට  අද(20) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දුන්නේය.

සෙසු විත්තිකරුවන් වන හිටපු අමාත්‍යවරයාගේ රියදුරු වන දිලුම් තුසිත කුමාර සහ සිද්ධියවූ වකවානුවේ වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරී සුදත් අස්මඩල යන මහත්වරුන්ට මෙසේ අධි චෝදනා පත්‍ර බාර දී තිබේ.

2016 වසරේදී අපරික්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු බරපතල රිය අනතුරකට ලක් කළේ යැයි චෝදනා කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ ඊයේ මෙම අධි චෝදනා පත්‍ර භාර දෙනු ලැබීය.

ඉන් පසුව එම විත්තිකරුවන් දෙදෙනාම රුපියල් 10,000 ක් බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය.

විත්තිකරුවන් විදේශ ගත වන්නේ නම් ඒ පිළිබඳව අධිකරණය දැනුවත් කර පූර්ව අනුමැතිය ලබාගත යුතු බවද මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුවන්ට  නියෝග කළේය.

මෙම ඇප කොන්දේසි සපුරාලන තුරු විත්තිකරුවන් දෙදෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ පුද්ගලික බැඳුම්කරයක් මත මුදා හරින ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා විසින් නියෝග කරන ලදී.

ඉන් අනතුරුව එම විත්තිකරුවන් දෙදෙනාට ලබන  28 වනදා යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.

මෙම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (20) පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වූ හෙයින් , හිටපු අමාත්‍යවරයාට ලබන 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා  ඊයේ ( 19) අවසර ලබාදී තිබුණි.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා එවකට මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍යවරයාව සිටි පාඨලී චම්පික රණවක මහතා විසින් පැදවූ ජිප් රථයක් මඟින් සංදීප් සම්පත් නමැති තරුණයකුට බරපතළ අනතුරක් සිදු කිරීම, බොරු සාක්ෂි සෑදීම, සාක්ෂි අතුරුදන් කිරීම සහ රිය අනතුරක් සිදු කළ පාඨලී චම්පික රණවක නමැති සැකකරු නීත්‍යනුකූල දඬුවමින් ආරක්ෂා කිරීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය වෙත වැරදි වාර්තා ඉදිරිපත් කිරීම , ඇතුළු අධිචෝදනා 16 ක් යටතේ හිටපු අමාත්‍ය  පාඨලී චම්පික රණවක, ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ දිලුම් තුසිත කුමාර සහ වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ වත්මන් සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල යන තිදෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර ඇත.