පාඨලී චම්පික රණවකටත් සාහිත්‍ය සම්මානයක්


රජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ බලය සහ බලය පොතටද සම්මානයක් හිමිවිය.

වසරේ හොඳම සිංහල ස්වතන්ත්‍ර නවකතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය මෙවර, සේන තෝරදෙණිය විසින් රචිත ‘බණ්ඩර මැරූ උන්‘ කෘතියට හිමි විය.

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රගහලේ දී අද  (20) පැවැත්විණි.

මෙම උළෙලේදී වසරේ හොදම දෙමළ ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය එන්.පී අරුලානන්තම් මහතා විසින් රචිත ‘එන්ත වන්නතුගුල්‘ කෘතියට හිමි වූ අතර, හොඳම ඉංග්‍රීසි නවකතාවට හිමි සම්මානය   ඒ.ආර් ජයතිලක මහතා විසින් රචිත ‘නයිට්ස් ඔෆ් ඔලිම්පස්‘ කෘතියට හිමි විය.

ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන ‘සාහිත්‍ය රත්න‘ සම්මානය මහාචාර්ය ජේ.බී දිසානායක, ආචාර්ය මුල්ලෙයාමනි සහ කපිතාන් එල්මෝ ජයවර්ධන මහත්වරුන්ට හිමි විය. එල්මෝ ජයවර්ධන මහතා රචනා කළ ‘සෑම්ස් ස්ටෝරි‘ ජනප්‍රිය කෘතියක් විය.

මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාටද මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් හිමි වූ අතර ඒ මහතා විසින් රචනා කළ ‘බලය සහ බලය‘ කෘතියට ‘විවිධ විෂයක කෘති‘ තේමාව යටතේ පිරිනැමෙන රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවිය.

හොදම ස්වතන්ත්‍ර සිංහල කෙටි කතාවට හිමි රාජ්‍ය සාහිත්‍ය සම්මානය මෙවර පියල් කාරියවසම් මහතා විසින් රචිත ‘කුරිරු සුරංගනා කතාවක්‘ කෘතියට හිමිවූ අතර හොදම සිංහල ස්වතන්ත්‍ර පද්‍ය කෘතිය ලෙස කෘති දෙකකට සම්මානය හිමි විය. ටිම්රාන් කීර්ති විසින් රචිත ‘යන්නං චන්දරේ‘ සහ විමල් දිසානායක මහතා විසින් ‘මනෝ රූප ශතකය සහ වෙනත් කවි‘ එම කෘති දෙකය.

හොදම ශාස්ත්‍රීය හා පර්යේෂණ කෘතියට ලෙස මෙවර සම්මාන හිමි වූයේ  ටී.ජී කුලතුංග මහතා රචනා කළ ‘පුරාණ අභයගිරි විහාරය‘ කෘතිය හා සිරිමල් රණවැල්ල මහතා රචනා කළ‘පුරාතන ශ්‍රීලංකාවේ ආර්ථීක ඉතිහාසය‘ කෘතියට ය.

sammana_20151020 sammana_20151020-1 sammana_20151020-2 sammana_20151020-3 sammana_20151020-4 sammana_20151020-5 sammana_20151020-6