පාඨලි යළි බයිසිකල් පදී


බලශක්තිය සංරක්ෂණය කළ හැකි  ප්‍රවාහන මාධ්‍යක් ලෙස ජනතාව අතර  පාපැදිය ජනප්‍රිය කරවීමේ  වැඩසටහනක් ආරම්භ කරන බව විදුලිබල හා  බලශක්ති අමාත්‍ය  පාඨලී චම්පික රණවක මහතා  පැවසීය.

එහි පළමු  අදියර ලෙස ප්‍රදර්ශනාත්මක පාපැදි  ධාවන තරඟයක්  ශ්‍රි  ජයවර්ධනපුර  කිඹුලාවල මංසන්ධියේ සිට කොළඹ 07 , නිදහස්  චතුරස්‍රය දක්වා  ලබන ඉරිදා (07) උදැසන 7.00ට  පැවැත්වෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය.

ජනතාව අතර පාපැදිය ජනප්‍රිය කරවීම සඳහා නවීන මුහුණුවරකින් යුත් පාපැදි හඳුන්වාදිමට  හා  පාපැදි  මංතීරු ඉදිරිකිරිමට  කටයුතු  කරන බවද ඇමතිවරයා කීවේය.

පාපැදි  භාවිතා  කිරිම ශරීර  සෞඛ්‍යයට  මෙන්ම ආර්ථිකයට ද හිතකර  බව කී  අමාත්‍යවරයා ජාතික බලශක්ති  සංරක්ෂණ මාසය නිමිත්තෙන්  මෙම පාපැදි  ධාවන තරඟය පවත්වන බවද ඇමති  පාඨලී  චම්පික රණවක මහතා  පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ විදුලිබල හා  බලශක්ති අමාත්‍යාංශයේ දී  අද (4) පෙරවරුවේ පැවති  මාධ්‍ය  හමුවක්  අමතමිනි.

(වීඩියෝ සනත් ඩෙස්මන්)