තරිඳු ජයවර්ධන
ආදර සම්බන්ධතාවක් ඇතැයි කියමින් කිසිදු සාධාරණ හේතුවක් නැතිව පාසලෙන් අස් කර ඇතැයි කියමින් කුලියාපිටියේ පාසලක 13 ශ්‍රේණියේ සිසුවකු පොලිසියට සහ මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබේ.
පාසලේ ආදි ශිෂ්‍යයන් පිරිසක් පාගමනක් පැවැත්වූ බවත්, තමා ද එම පාගමනට සහභාගී වූ බවත්, පාසලේ ගුරුවරයකු එම පාගමනේ තමා සිටින වීඩියෝ ඇතැයි කියමින් බැන වැදුන බවත්, පාගමනට සහභාගී වීම නිසා ආදර සම්බන්ධතාවක් ඇතැයි බොරු චෝදනා කරමින් තමා පාසලෙන් ඉවත් කළ බවත් සිසුවා කළ පැමිණිල්ලේ සඳහන් වේ.
සිසුවා පන්තියේ සිටින අවස්ථාවේ ගුරුවරයකු පැමිණ බන වැදුණු බව ද, ඉන් පසු පාසලේ විදුහල්පති කාමරයට කැඳවාගෙන ගිය බව ද, පාසලේ ආදි සිසුන් සංවිධානය කළ ‘රණවිරු සැමරුම්‘ පාගමනට තමා සහභාගී වී ඇතැයි කියමින් බැණ වැදුණු බව ද, පසු දින දෙමාපියන් කැඳවාගෙන එන ලෙස පාසලෙන් දැනුම් දුන් බව ද සිසුවා කළ පැමිණිල්ලේ සඳහන්ය.
පසු දින දෙමාපියක් කැඳවා ආදර සම්බන්ධයක් ඇතැයි කියමින් සිසුවා පාසලෙන් ඉවත් කර තිබෙන අතර ඔහු පාසලෙ ඉවත් කිරීමේ සහතිකයේ දක්වා ඇත්තේ චරිතය ඉතා සතුටුදායක බවයි. හේතුවක් නැතිව පාසලෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සිසුවා පැමිණිලි කිරීමෙන් පසු අද (07) යළි එම සිසුවා පාසලට කැඳවා විනය පරීක්ෂණයක් පවත්වන බව කියා ඇත. ඉන් අනතුරුව එම අස්කලා සිසුවාට යළි දින හතරක පන්ති තහනම් පනවා තිබේ. සිසුවා කළ විමසීමේදී පාසලේ ප්‍රධානීන් ප්‍රකාශ කර ඇත්තේ කළිත් තිබූ ඇතුළත් වීමේ අංකයටම යළි ඔහු පාසලට බාර ගෙන විනය තීන්දුව ක්‍රියාත්මක කළ බවයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ එසේ සිසුන් ඉවත් කළ නොහැකි බවයි. විනය පරීක්ෂණයක් පවත්වන්නේ නම් අධ්‍යාපන අමාත්‍යංශයේ 2005/17 චක්‍රලේඛය අනුව බවයි.
මේ සම්බන්ධයෙන් විමසීමට එම පාසලේ විදුහල්පතිවරයා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

