පාකිස්තානය ටෙස්ට් තරගාවලිය ජයගනී


අබ්දුල් රෙහෙමාන් (25/6) සහ සයීඞ් අජ්මල් (22/3) දඟ පන්දු යැවීමෙන් පෑ දස්කම් හමුවේ එංගලන්තයට එරෙහිව අබුඩාබිහිදී (28 දා) පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පාකිස්තාන් පිල ලකුණු 72 ක විශිෂ්ට ජයක් ලැබීය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පාකිස්තානය ජය ලබා සිටියි. එංගලන්තය පරදවා පාකිස්තානය ටෙස්ට් තරගාවලියක් ජය ලබන්නේ වසර 7 කට පසුවය. ජයග‍්‍රහණය සඳහා ලකුණු 145 ක පහසු ඉලක්කයක් හඹා ගිය එංගලන්ත පිතිකරුවෝ රෙහ්මාන් සහ අජ්මල්ගේ පන්දු හමුවේ තරගය නිමාවීමට සම්පුර්ණ දිනක් ඉතිරිව තිබියදී ලකුණු 72 කට දැවී ගියහ. එංගලන්ත ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වසර 110 ක් තරම් අතීතයකට කැඳවාගෙන යාමට මෙම පරාජය හේතුවක්විය. එංගලන්තය ජයග‍්‍රහණය සඳහා ලකුණු 150 කට අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට තිබියදී පරාජය ලැබු තෙවැනි අවස්ථාව ලෙස මෙය වාර්තාවේ. වර්ෂ 1902 දී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව  ඕල්ඞ්ට‍්‍රැෆඞ් හිදී සහ 1978 වසරේදී නවසීලන්තයට එරෙහිව වෙලින්ටන්හිදී ලකුණු 150 කට අඩු ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට තිබියදී වත්මන් ලොව හොඳම ටෙස්ට් කණ්ඩායම පරාජයට පත්ව තිබේ. පාකිස්තානයට එරෙහිව පැවැති තරගයේ වැඩිම ලකුණු ලාභියා වු එංගලන්ත නායක ඇන්ඩෘ ස්ට‍්‍රවුස් (32) ගේ දැවී යාමක් විනිසුරු බිලී බවුඩන් ප‍්‍රතික්‍ෂේප කිරීම නොවන්නට එංගලන්තයට වාර්තාගත පරාජයක් ලැබීමට ඉඩ තිබිණ. පාකිස්තානය පළමු ඉනිම 257 සහ දෙවැනි ඉනිම 214 (අසාර් අලි 68, අසාද් සාෆික් 43, මොන්ටි පනීසාර් 62/6) එංගලන්තය පළමු ඉනිම 327 සහ දෙවැනි ඉනිම 72 (ඇන්ඩෘ ස්ට‍්‍රවුස් 32, සයීඞ් අජ්මල් 22/3, අබ්දුල් රෙහ්මාන් 25/6)