
(*** සුජිත් හේවාජුලිගේ)
මරණීය දණ්ඩනය නියමව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා මැතිසබයට කැඳවීමට හැකියාව තිබේදැයි අධිකරණය අද හෙටම තීරණය කරනු ඇතැයි පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ‘ලංකාදීප’යට ඊයේ (2) පැවැසීය.
ඒ සඳහා අධිකරණයේ අවසරය ලබාගැනීමට කටයුතු කරගෙන යන බව ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නීතිඥයන් දැනුම් දී ඇතැයිද මහ ලේකම්වරයා කීය.
මෙය අධිකරණය විසඳිය යුතු කටයුත්තක් යැයිද දසනායක මහතා ප්‍රකාශ කළේය.
ප්‍රේමලාල් ජයසේකර මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති මන්ත්‍රී ගැසට් නිවේදනයට ඇතුළත් කර තිබෙන හෙයින් ජයසේකර මහතා මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම සඳහා ලබන 8 වැනිදා මැතිසබයට කැඳවාගෙන එන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට දැනුම් දී තිබෙන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත් 28 වැනිදා ප්‍රකාශ කළේය.
ප්‍රේමලාල් ජයසේකර මහතා මැතිසබයට කැඳවාගෙන යෑමට හැකියාවක් නැතැයි නීතිපතිවරයා අධිකරණ අමාත්‍යාංශයට දැනුම් දී ඇත්තේ ඉන් පසුවය.
මේ තත්ත්වය යටතේ ජයසේකර මහතා පාර්ලිමේන්තුවට කැඳවීම නීතිමය අර්බුදයක් දක්වා වැඩි දියුණුවන ආකාරයක් නිර්මාණය වනු පෙනෙන්නට තිබිණි.
මනුෂ්‍ය ඝාතන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබ සිටින තමිල් මක්කල් විදුතලේ පුලිගල් පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා ඉකුත් සතියේදී මැතිසබයට කැඳවා ගෙන එනු ලැබුවේ ද අධිකරණයේ අවසරයක් ඒ සඳහා ලබාගැනීමෙන් පසුව යැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
ප්‍රේමලාල් ජයසේකර මහතාට රත්නපුර මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ 2015 මහ මැතිවරණය අවස්ථාවේදී කහවත්ත ප්‍රදේශයේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙනි.
මරණීය දණ්ඩනය නියමකෙරුණු ජයසේකර මහතා මේ වන විට රඳවනු ලැබ සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය.
ඔහු මෙම නඩු තීන්දුවට එරෙහිව අභියාචනයක්ද ඉදිරිපත් කර ඇත.
පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් රත්නපුර දිස්ත්‍රික්කයට තරගවැදුණු ප්‍රේමලාල් ජයසේකර මහතා දෙවැනියට වැඩිම මනාප ලබාගනිමින් එම දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයකු ලෙස තේරීපත්වූයේය.

