ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය එළිදකි


හර්ෂණ තුෂාර සිල්වා

රාජ්‍ය ආයතන ප්‍රසම්පාදන කටයුතු කළ යුතු ආකාරය දැක්වෙන රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහය එළැඹෙන අගෝස්තු (9) වැනිදාට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත කරගත යුතු බව ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපති ඉංජිනේරු නිහාල් වික්‍රමසූරිය මහතා අද (14) පැවැසීය. 

මේ වනවිට එම මාර්ගෝපදේශ කෙටුම්පත ගැසට් කර ඇති බවත් අදාළ මාර්ගෝපදේශ ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවත් වික්‍රමසූරිය මහතා කීය. රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සම්බන්ධයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (14) පැවැති මාධ්‍ය හමුවකදී  වික්‍රමසූරිය මහතා එම කරුණු කීය.

ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති අදාළ මාර්ගෝපදේශ ජනාධිපතිවරයාගේ අධ්‍යයනයෙන් පසු අග්‍රාමාත්‍යවරයාට යවන බවත් ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති බවත් හෙතෙම කීවේය.  

මෙම ප්‍රසම්පාදන මාර්ගෝපදේශ පසුගිය මැයි 9 වැනිදා අංක 2070/15 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර තිබේ. මාර්ගෝපදේශ අද (14) කතානායක කරු ජයසූරිය මහතාට නිල වශයෙන් බාර දුන් බව ද සභාපතිවරයා කීවේය. 

ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව යනු 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ස්ථාපිත කළ කොමිෂන් සභා නවයෙන් එකක් බව සඳහන් වික්‍රමසූරිය මහතා මේ නව ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සහ අත්පොත් කාර්යක්ෂම, ඵලදායී ආර්ථිකයන් සහ සමානාත්මතාවයෙන්, විනිවිදභාවයෙන් සහ සාධාරණ රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලී ඉලක්ක කරගෙන සකස් කර ඇති බව ද කීය.