මනෝප්‍රිය ගුණසේකර
බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා දුරකතනයෙන් තර්ජනය කළ බව පවසමින් එලෙස තර්ජනය කරන හඬ පටයක් කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය හමුවේ අද (11) ප්‍රතිවාදනය කළේය.
කොළොන්නාව මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිව සිටි පවුල් විසිහතරක් එම ඉඩමින් ඉවත් කොට ඉඩම විකිණීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 6 1/2 කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගත් බවට චෝදනා ලැබ සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඔහුගේ බිරිඳ ඇතුළු තිදෙනෙකුට එරෙහි නඩුවේ සාක්කි දෙමින් ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් මහතා අදාළ හඬ පටය අධිකරණය හමුවේ මෙලෙස ප්‍රතිවාදනය කළේය.
2015 අප්‍රේල් මස 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී සුරන්ජන් ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් නමැත්තාට බියක් ඇති කර චෙක්පත් පහක් සහ පොරොන්‍දු නොට්ටු පහක් බලහත්කාරයෙන් ලබා ගැනීමට කුමන්ත්‍රණය කිරීම ඒ අනුව කටයුතු කර අදාළ චෙක්පත් සහ පොරොන්‍දු නෝට්ටු ලබා ගැනීම සහ ඒ සඳහා ආධාර අනුබල දීම යන චෝදනා මත විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා ලැබ සිටින්නේ බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා , ඔහුගේ බිරිඳ වන ගම්පහ උඩුගම්පොල පදිංචි මොරීන් ස්ටේලා රණතුංග මහත්මිය සහ ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන මොරීන් රණතුංග මහත්මියගේ ඥාතියෙකු වන නරේෂ් කුමාර් ෆාරිස් නමැත්තෙකි.
චෝදනා ලැබ සිටින ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු වන නරේෂ් කුමාර් ෆාරිස් නමැති විත්තිකරු අධිකරණයට ඉදිරිපත් නොවීම නිසා ඔහු නොමැතිව මෙම නඩුව විභාග කිරීමට තීරණය කොට ඇත.
පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතාගේ මෙහෙයවීම යටතේ වැඩිදුරටත් සාක්කි දුන් පිටකෝට්ටේ පදිංචි විද්‍යුත් උපකරණ සමාගමක අධ්‍යක්‍ෂවරයෙකු වු ක්‍රිස්ටියන් ගිහාන් මෙන්ඩිස් මහතා මෙසේද කීය.
බස්නාහිර පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා 2015 මැයි මස 29 වැනිදා දහවල් මට කෝල් එකක් දුන්නා එලෙස කෝල් එකක් දී ‘අද දවස ඇතුලත මට මිලියන 06ක් ඕනේ. උඹ මගේ හැටි දන්නවානේ?’ කියමින් මට තර්ජනය කළා. මං ඒක පටිගත කරගත්තා.
මේ අවස්ථාවේදී සාක්කිකරු විසින් එලෙස පටිගත කරගන්නා ලද හඬ පටය අධිකරණය හමුවේ ප්‍රතිවාදනය කරන ලදී.
අද දවස ඇතුළත මට මිලියන 06ක් ඕනේ කියා හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මට කීවා. එදින ඇතුළත මට එපමණ මුදලක් දෙන්න නැති නිසා ඒ වේලාවේ රුපියල් මිලියන 03ක මුදලක් දෙන්න අපි ලැහැස්ති වෙලා හිටියේ.
නරේෂ් කියන්නේ මේ සිද්ධියේ අතරමැදියා. 2015 අප්‍රේල් මාසයේ 10 වැනිදා ප්‍රසන්න රණතුංග මහතාට චෙක්පත් වගයක් බාරදුන්නා. පසුව විමල් නමැති සේවකයකු අත තවත් චෙක්පත් වගයක් යැව්වා. ඊට අමතරව පොරොන්දු නෝට්ටු කිහිපයකටද මා අත්සන් කර දුන්නා. එම පොරොන්දු නෝට්ටු ලිව්වේ මා ඉදිරිපිටදී නෙමේ. මා මගේ සේවකයකු වන මේජර් බිමල් සමඟ ප්‍රසන්න රණතුංග මහතාගේ නිවසට ගිය අවස්ථාවේදී තමයි මගේ අත්සන ලබා ගත්තේ.
ඉන් පසුව තමයි මට මේ හඬපටයේ ආකාරයට තර්ජනය කරලා මුදල් ඉල්ලුවේ. එලෙස මුදල් ඉල්ලීමෙන් පැය කිහිපයකට පසු ප්‍රසන්න රණතුංග මහතා ඔහුගේ ආරක්‍ෂ නිලධාරීන් තිදෙනෙකු සමඟ මාගේ කාර්යාලයට ආවා. එම ආරක්‍ෂක නිලධාරීන්ගේ ඉනේ පිස්තෝල තියෙනවා මා දැක්කා. මාගේ කාර්යාලය තුළට පැමිණෙන ලෙස මා ඔහුට ආරාධනා කළත් ඔහු ඒ තුළට ආවේ නැහැ. පසුව මා ඔහුගේ වාහනය අසළට ගියා ඒ අවස්ථාවේදී ඔහු සල්ලි ඉල්ලා තර්ජනය කරමින් මට පරුෂ වචනයෙන් බැන්නා.
වැඩිදුර සාක්කි විභාගය ලබන 28 වැනිදා තෙක් කල් තබන ලදී.
පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙශ්ඨ නීතීඥ සුහර්සි හේරත් මහත්මිය සමඟ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා පෙනී සිටියේය.
විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ මේරි ඩික්මන් මහත්මිය සමඟ ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.