
(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ප්‍රදේශ රැසකට හෙට (3) දිනයේත් මිලිමීටර 100 ඉක්මවූ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.
ඌව සහ නැගෙනහිර පළාත්වලත්, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.
මෙම වැසි තත්ත්වය හෙටින් (3) පසුව ක්‍රමයෙන් පහව යනු ඇති නමුත් තවත් සතියක් පමණ විටින් විට වැසි ඇතිවනු ඇතැයි ද එම ප්‍රකාශකයා පැවසීය.
උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා වේගවත් තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ එම ප්‍රකාශකයා කීවේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු අනතුරු හා තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බව ද ඔහු කීවේය.
එමෙන්ම මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තද වැසි සමඟ පැයට කිලෝමීටර 70, 80 පමණ වේගවත් තද සුළං ද ඇතිවිය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව එම ප්‍රකාශකයා පැවසීය.
එබැවින් ධීවර හා නාවුක ප්‍රජාව විමසිලිමත් විය යුතු බව ඔහු සඳහන් කළේය.
මේ අතර ඊයේ (1) රාත්‍රියේ දිවයිනේ ප්‍රදේශ ගණනාවකට මිලිමීටර 200 ඉක්මවූ වැසි ලැබී තිබූ අතර අද (2) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 ක කාලයේදී වැඩිම වර්ෂාපතනය ලෙස මිලිමීටර 287 ක වර්ෂාපතනයක් කොළඹ දිස්ත්‍රික්කයේ ශාලාව ප්‍රදේශයෙන් වාර්තා වී ඇත.

