ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමක - පැෆරල්


හර්ෂණ තුෂාර සිල්වා
 
අද (10) සවස 4 න් අවසන් වූ පළාත් පාලන ඡන්ද විමසීමේ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය ප්‍රශස්ත මට්ටමක පවතින බව පැෆරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසයි. 
 
සාමාන්‍යයෙන් ජනාධිපතිවරණ සහ මහ මැතිවරණවලට සාපේක්ෂව පළාත් පාලන ඡන්ද විමසීම්වල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය අඩු මට්ටමක පැවතිය ද මෙවර පළාත් පාලන මැතිවරණයේදී ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 65ක් ඉක්මවා ගොස් ඇති බවට වාර්තා වන බව ද හෙතෙම කීය.
 
“සාමාන්‍යයෙන් පළාත් පාලන මැතිවරණවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 55ත් 65ත් අතර අගයක තමා තියෙන්නේ. එහෙත් මෙවර එම සංඛ්‍යාව ඉක්මවා ගිහින්” යැයි හෙට්ටිආරච්චි මහතා කීය. 
 
2015 වසරේ පැවති  ජනාධිපතිවරණයේදී සමස්ත ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 81.52ක් වූ මහ මැතිවරණයේදී එය සියයට 77.66ක් විය. 
 
මෙවර පළාත් පාලන ආයතන මැතිවරණයේදී මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සහ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ යම් යම් සිදුවීම් වාර්තා වී ඇතත් සමස්තයක් වශයෙන් අවහිරතාවලින් තොර වාතාවරණයක් මේ දක්වා නිරීක්ෂණය වී ඇතැයි  මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරන එම මධ්‍යස්ථානය අද (10) පස්වරු 2 ඉකුත් වූ කාලයේදී වාර්තා වූ සිදුවීම් සංඛ්‍යාව 111ක් යැයි සඳහන් කර තිබේ. ඉන් 16ක් බරපතළ සිදුවීම් යැයි ද ඉතිරි 95 සුළු සිදුවීම් බව එම මධ්‍යස්ථානය කියයි.

ඡායාරූප - චතුර එස් කොඩිකාර