ප්ලාස්ටික් භාවිතය අවම කරීමට පියවරගත් රටවල් අතරට ශ්‍රී ලංකාවත්



පරිසර දූෂණයට හේතුවන ප්ලාස්ටික් භාවිතය අවම කිරීමට පියවර ගෙන ඇති රටවල් පනහ අතරට ශ්‍රී ලංකාවද ඇතුළත්ව ඇතැයි වාර්තා වේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කර ඇති වාර්තාවක මේ බව දැක්වෙන අතර ශ්‍රී ලංකාව ස්ටයිරොෆෝම් තහනම් කිරීමට පියවර ගෙන ඇති බව එහි සඳහන් වේ.

ඉන්දියාව, ගැලපගස් දූපත්, සහ චීනය යන රටවල් ප්ලාස්ටිත් අවම කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්දයෙන්ද මෙම වාර්තාවේ සඳහන් කර ඇත. 


කෙසේ වුවද වාර්තාව පෙන්වා දෙන්නේ ගංගාවලට සහ මුහුදු වලට එකතු වන අති විශාල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම සඳහා මීට වඩා වැඩි ප්‍රයත්නයක් සියලුම රටවල් විසින් දැරිය යුතු බවයි.

 

දියුණු වෙමින් පවතින පවතින රටවල මෙවැනි ගැටලු බොහොමයක් දක්නට ඇති බවත් ඉවතලන ප්ලාස්ටික් මලු කාණු පද්ධති වල සිරවීම හේතුවෙන් ජලගැලීම් ඇති වන බවත් සතුන් විසින් ප්ලාස්ටික් මලු ආහාරයට ගැනීමෙන් ගැටලු ඇති වන බවත් වාර්තාව පෙන්වා දෙයි.

මේ වාර්තාව පෙන්වා දෙන්නේ බොහෝ රටවල ප්ලාස්ටික් අවම කිරීම සංකීර්ණ සහ දුෂ්කර ක්‍රියාවලියක් වි ඇති බවයි. කැමරූන්හි ප්ලාස්ටික් මලු තහනම් කර ඇති අතර ඉවතලන ප්ලාස්ටික් වෙනුවෙන් මිලක් ගෙවීමට ද සිදුවේ. නමුත් අනිසි ක්‍රම ඔස්සේ එම රටට ප්ලාස්ටික් මලු පැමිණෙන බව පැවසේ. 

 

ප්ලාස්ටික් සම්බන්දයෙන් බොහෝ රටවල නීති පනවා ඇතත් ඒවා ක්‍රියාත්මක කිරීමේ දුර්වලතා ඇත.

 

ප්ලාස්ටික් වෙනුවට භාවිතා කළ හැකි ජීව ආදේශක 35ක් සම්බන්දව ද වාර්තාවෙන් පෙන්වා දෙයි. හාවුන්ගේ ලොම්, මුහුදු තෘණ, දිලීර, කෙසෙල් මුහ හා බඩ ඉරිඟු වැනි දේ ඒ අතර වෙයි.

 

ප්‍රශ්නය ඇත්තේ ප්ලාස්ටික් වල නොව අප එය භාවිතා කරන ආකාරයේ බව එක්සත් ජාතීන්ගේ පරිසර ප්‍රධානී එරික් සෝල්හයිම් පවසයි. 

(බීබිසී ඇසුරිණි - 085)