පළාත් සභාවලට පූර්ණ පොලිස් බලතල ඕනෑ - විග්නේෂ්වරන්


එෆ්.අස්ලම්
 
ප්‍රචණ්ඩත්වය නිම කරමින් උතුරේ දෙමළ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට රඳවා සිටින ආරක්ෂක හමුදාව ඉවත් කර පළාත් සභාව වෙත පූර්ණ ලෙස පොලිස් බලතල පැවරිය යුතු බව එම පළාතේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය.


උතුරේ ආරක්ෂක හමුදාව ක්‍රම ක්‍රමයෙන් අඩුකරන බවට රජය පොරොන්දු වුවද එම පොරොන්දු ක්‍රියාත්මක වී නොමැති බවත් පළාතේ අපරාධ ක්‍රියාවන් ද සීඝ්‍ර වශයෙන් ඉහළ ගොස් ඇති බවත් මේවා පාලනය කිරීමට අවශ්‍ය බලතල පළාත් සභාවට නොමැති බවත් මහ ඇමැතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.


ජනපති මහජන සේවයේ අටවැනි වැඩසටහන ඊයේ (2) යාපනය වීරසිංහම් ශාලාවේ දී පැවති අතර මෙම වැඩසටහනට සහභාගී වී අදහස් පළ කරමින් මහ ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.


උතුරු පළාතේ ජීවත් වන ජනතාව සෙසු පළාත්වල ජනතාවට වඩා අවශ්‍යතා රැසක් හිමිවිය යුතු පිරිසක්. ඒ මේ ජනතාව යුද්ධයෙන් පීඩාවට පත්වුණ නිසයි. මොවුන් ගැන ජනපති මහජන සේවය වැඩසටහන යටතේ වැඩි අවධානයක් යොමුකළ යුතුයි කියල සඳහන් කරනවා. දෙමළ ජනතාවගේ අත්‍යවශ්‍ය සේවා, මූලික අවශ්‍යතා ගැන අදාළ බලධාරීන් වෙත අවශ්‍ය තොරතුරු වාර්තා ලබාදීමට මට පුළුවන්.


දේශපාලනික වශයෙන් විසඳුම් දිය යුතු ප්‍රශ්න එක් පැත්තකිනුත්,පරිපාලන වශයෙන් විසඳිය යුතු ප්‍රශ්න තවත් පසකිනුත්, ආර්ථිකය හා බැදුණු ප්‍රශ්න තවත් පැත්තකිනුත්, මානුෂික වශයෙන් විසදිය යුතු ප්‍රශ්න තවත් පසෙකිනුත් නොවිසදී තියෙනවා.අපගේ ප්‍රශ්න හදුනාගෙන ඒවාට විසදුම් දීමට රජය මූලිකත්වය ගෙන කටයුතු කළ යුතුයි. ලබන මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් සැසිවාරයට වාර්තා සකස් කිරීමට මූලිකත්වයක් මේ මොහාතේ ගන්නේ නම් අපගේ ප්‍රශ්නවලට ස්ථීර විසඳුම් හිමිවීමේ ඉඩකඩක් නැහැ.


එක් රටක ජාතික ආරක්ෂාවට ආරක්ෂක හමුදාවක් සිටිය යුතුමයි. අප රට විදේශීය ආක්‍රමණ හා බලපෑම් වලින් ආරක්ෂාකර ගැනීමටත් රටේ සාමකාමී තත්වයක් ඇති කිරීමටත් හමුදාව අත්‍යවශ්‍යයි. එහෙත් උතුරේ කෘෂීකර්මාන්තය කිරීමටයි, අවන්හල් පවත්වාගෙන යාමටයි, ඉඩම් අල්වාගෙන සිටීමටයි, වැව් අමුණු සුද්ධ පවිත්‍ර කිරීමටයි හමුදාවේ සේවාව අනවශ්‍යයි. යුද්ධය අවසන් වෙලා ලබන මැයි 18 වැනි දා ට දස වසරයි.
තවමත් හමුදාව අපව බලා සිටින්නේ යුද සමයේ  විසූ ජනතාව විදිහටයි. එ‍් තුළින් දෙමළ ජනතාව ගැන අවිශ්වාසයක් පවතින බව පෙන්වනවා.