පළාත් සභා කඩිනම් කරන්න නීති ජනවාරියේ


(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අවශ්‍ය නීති සංශෝධන පාර්ලිමේන්තුවට ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කර සම්මත කරගැනීමට මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තීරණය කළේය.

පළාත් සභා වසර තුනකට අධික කාලයක් අක්‍රීයව පැවතීම හේතුවෙන් රටේ ගැටලු රැසක් නිර්මාණය ඇතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා එම කාරක සභාවේදී පෙන්වා දුන්නේය.

එක් අයෙකු විසින් පළාත් සභාව පාලනය කරනු ලැබීම සාධාරණ නොවන බවත් පළාත් පාලන ආයතන සහ පාර්ලිමේන්තුව සක්‍රීයව පැවතියත් අක්‍රීයව පවතින්නේ පළාත් සහා පමණක් බවත් මුදල් ඇමැතිවරයා සඳහන් කළේය.

ඒ හේතුවෙන් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා ක්‍රියා කළ යුතු බව මුදල් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මේ අතර පවතින පළාත් සභා මැතිවරණය පැරැණි ජන්ද ක්‍රමය යටතේ පැවැත්වීම සඳහා කටයුතු කළ යුතු බව කාරක සභා සාමාජිකයෝ මෙහිදී පෙන්වා දුන්හ.

සභානායක,දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී පැවසුවේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නෛතික සංශෝධන පාර්ලිමේන්තුවට ලබන ජනවාරි මාසයේදී ඉදිරිපත් කිරීම සුදුසු බවයි.