පළාත් මැතිවරණය ඉල්ලූ පෙත්සම විභාගයට දින නියමකෙරේ


(තිළිණි ද සිල්වා  සහ  රංජන් කටුගම්පොළ)

කල් තබා ඇති සියලු පළාත් සභා මැතිවරණය වහාම පැවත්වීමට අදාළ පියවර ගැනීමට මැතිවරණ කොමිසමට නියෝගය කරන රීට් ආච්ඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානය විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය.

ඒ අනුව එම පෙත්සම ලබන සැප්තැම්බර් 09 වැනිදා විභාගයට ගැනීමටද අධිකරණය දින නියම කළේය.

එසේම මෙම පෙත්සම් විභාගයට සහායවන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාටද දැනුම් දුන්නේය.

මෙම පෙත්සම ප‍්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලූ අතර එහිදී මෙම පෙත්සම විභාගය ගැනීමට දින නියම කෙරිණි.

සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු එහි සාමාජිකයින් වන නීතීඥ දිනේෂ් සඳරුවන් ජයවීර මහතා ඇතුළු නමදෙනෙකු විසින් ගොනු කර ඇති මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයින් නම් කරනු ලැබ සිටිති.

මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදී මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගළහේවා මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම පෙත්සමට අදාළව විරෝධතා ඉදිරිපත් කිරීමට තම සේවාදායකයින් අපේක්ෂා නොකරන බවයි.

කෙසේ වෙතත් සීමානිර්ණය කටයුතුවලින් පරිබාහිරව දැනට පවතින මැතිවරණ ක‍්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් නීතිමය අර්ථකථනයක් ලබා ගැනීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බවද ජනාධිපති නීතිඥ ඉගළහේවා මහතා අධිකරණයට දන්වා සිටියේය.

මෙහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණයට දන්වා සිටියේ පළාත් සභා මැතිවරණය දිනෙන් දිනම කල් දැමීම හේතුවෙන් ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය උල්ලංඝනය වන බවයි. මේ හේතුවෙන් අදාළ මැතිවරණ  කඩිනමින් පැවැත්වීම අවශ්‍ය  බවද පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය හමුවේ දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත‍්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම විභාගයට ගැනීමට නියම කරමින් එහි වගඋත්තරකරුවන් වන මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයින් වෙත නොතීසි නිකුත් කිරීමට නියම කළේය.

විරෝධතා හෝ කරුණු දැක්වීම් තිබේනම් ඒවා අද දින සිට මාසයක් ඇතුළත ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත්,  ප‍්‍රතිවිරෝධතා ඇත්නම් ඒවා ඉදිරි සති දෙක ඇතුළත ගොනු කරන්නැයිද අධිකරණය මැතිවරණ කොමිසම ඇතුළු වගඋත්තරකාර පාර්ශවය දන්වා සිටියේය.

පෙත්සම සැප්තැම්බර් මස 09 වනදා කැඳවන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.