පළාත් මන්ත‍්‍රි චණ්ඩියා වෙයි
තමා සම්බන්ධ ප‍්‍රවෘත්තියක් පුවත්පතේ පළ කළහොත් අසුවන තැනකදී පහර දී මරා දමන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න දුරකතන ඇමතුමක් දී මරණ තර්ජනය කළැයි ලංකාදීප මාතර වාර්තාකරු ක‍්‍රිෂාන් ජිවක ජයරුක් මහතා මාතර පොලිසිට අද(1) පැමිණිලි කෙළේය.බ‍්‍රහස්පතින්දා සවස 1.52ට පමණ තමාට දුරකතන ඇමැතුමක් දුන් පළාත් සභා මන්ත‍්‍රී මා ගැන ප‍්‍රවෘත්තියක් ලැබුණා දැයි අසා දිගින් දිගටම කුණුහරුපෙන් බැණ වැදුණු බවත් ජයරුක් පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
‘‘පත්තෙරේ ගියොත් බලාගන්නම් මම, තමුසේ මට කියන්න එපයැ මම ඒක ලියනව කියලා. තමුසේ දැන ගන්න ඕන නේ ඕයි මේව පත්තේරේ ගියාම අපට ලැජ්ජයි කියල. බුරුවා, තමුසේ හැම එකම ලියනව...... ..පුතා තමුසේ අමාරුවේ වැටෙන්න එපා. මාත් එක්ක හැප්පිලා. අන්තිමට වෙන්නේ මොකක්ද බලමු. උඹට ඕන නම් මම බැන්නයි කියලත් පත්තරේ දාපන්. මම ඒකත් බලා ගන්නම්. අන්තිමට.......... පුතා දැන ගන්න එපැයැ අපිට ලැජ්ජයි කියල අනෙක් කිසිම පත්තරකාරයෙක් ඕව දාන්නේ නැහැ. එහෙ දාන්නට නම් ඊට කලින් මගෙන් අහනවා. ජ්‍යෙෂ්ට මාධ්‍යවේදීන් පවා එහෙමයි. තමුසේ හිතන් ඉන්නව ද තමුසේ මාතර ලොකු පත්තරකාරයෙක් කියල මාතර අනිත් මාධ්‍යවේදිනුත් මේක දාන්නේ නැහැ. කියල මට කීවා. ආ හරි බලාගමු. තමුසේ මේකත් ලියනව. මම එකෙකුටවත් බය නැහැ.’’
තමාගේ ගෙට හොරුන් පැනීමේ පුවත තමාගෙන් නොආසා පළ නොකරන ලෙස මාතර වාර්තාකරුට පැවැසුවා මිස තර්ජනය නොකළ බව දකුණු පළාත් සභා මන්ත‍්‍රී ගුණරත්න මහතා කීවේය. ‘‘මං මොකටද ඔහුට තර්ජනය කරන්නෙ. මාතර අනෙක් මාධ්‍යකාරයන් ඔහොම කරන්නේ නැහැ. මා ඔහුට තර්ජනය කෙළෙත් නැහැ. කරන්නෙත් නැහැ‘යි ඔහු සඳහන් කෙළේය.

