පළාත් මන්ත්‍රී අශෝක දයාරත්න අභාවප්‍රාප්ත වෙයි


(ඩයනා උදයංගනී)
 
බස්නාහිර පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අශෝක දයාරත්න මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත විය.

 
දයාරත්න මහතා කොමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවය කර ත්‍රස්තවාදී ප්‍රහාරයකින් අතක් ද අහිමි වූ විශ්‍රාමික රණවිරුවෙකි. 
 
අභාවප්‍රාප්ත වන විට 67 හැවිරිදි වියෙහි පසු වූ දයාරත්න මහතා  තිදරු පියෙකි.      
 
සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වය යටතේ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයෙන් බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ ඒ මහතා පසුව මහින්ද රාජපක්‍ෂ මහතාට සහය පළ කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්විය.
 
ඔහුගේ පුතු වන හර්ෂ දයාරත්න පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අත්තනගල්ල වතුපිටිවල කොට්ඨාශය සඳහා තරඟ කර ජයග්‍රහණය කළේය.
 
ඔහු හෙළ වෙදරාළ වෙබ් අඩවියේ විධායක උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් දේශීය වෙදකම ආරක්‍ෂා කරගැනීම වෙනුවෙන් ද කටයුතු කළේය.
 
ඔහුගේ දේහය නිට්ටඹුව, රන්පොකුණුගම, අංක සී/බී/4/16 දරණ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු නිට්ටඹුව, මල්වත්ත ආදාහනාගාරයේදී අනිද්දා (10) පස්වරුවේ සිදුකෙරේ.