(දයාරත්න ඇඹෝගම)
උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය යටතේ පළාත් පාලන කොමසාරිස්වරිය සහ ප්‍රධාන අමාත්‍යාංශය විසින් ප්‍රාදේශීය සභා ඡන්දයෙන් පසුව එම ප්‍රාදේශීය සභා බලයේ පිහිටුවීමට පෙර කාලය අතරතුර මුදා හරින ලද රුපියල් කෝටි ගණනක මුදලක් මහජන සුභසාධනයකින් තොරව නිලධාරීන් හා ඔවුන්ගේ හිතවතුන් විසින් වංචා කර ඇතැයි උතුරුමැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසයි.
අනුරාධපුර පිහිටි ඒ මහතාගේ සම්බන්ධිකරණ කාර්යාලයේදි අද (7) පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව පැවසීය.
රජයේ ටෙන්ඩර් පටිපාටිය ද උල්ලංඝණය කරමින් කොන්ත්‍රාත් හා මිලදී ගැනීම් හරහා මෙලෙස රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කර ඇතැයි රංජිත් සමරකෝන් මහතා සඳහන් කරයි.
මෙම මුදල් වෙන් කිරීම් යටතේ නොච්චියාගම ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 500 ආසන්න මුදලකුත් රාජාංගණය ප්‍රාදේශීය සභාවට රුපියල් ලක්ෂ 200 ආසන්න මුදලකුත් ආදී වශයෙන් උතුරුමැද පළාතේ අනුරාධපුර මහා නගර සභාවත් ඇතුළුව ප්‍රාදේශීය සභා 25 ක් සඳහා මෙලෙස රුපියල් කෝටි ගණනක මුදලක් මුදා හැර ඇතැයි ද හිටපු ප්‍රධාන අමාත්‍යවරයා අවධාරණය කරයි.
ප්‍රාදේශීය සභා ඡන්දයෙන් පසුව එම සභා බලයේ පිහිටුවීම සඳහා ගත වු මසකට ආසන්න කාලයක් තුළ සභා ලේකම්වරුන් හා නිලධාරීන් රාජ්‍ය මුදල් වංචා කර ඇති බවත් සභාවේ අනුමැතියකින් තොරව මෙවැනි විශාල මුදලක් ඔවුන්ගේ අභිමතය පරිදී පරිහරණය කළ නොහැකි බවත් රංජිත් සමරකෝන් මහතා මෙහිදි පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.
ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය ඇතිව අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබල යැයි කියා ගන්නා ඇමැතිවරයකුගේ වුවමනාවට ඔවුන්ගේ හිතවතුන් හා නිලධාරීන් පොහොසත් කිරීම සඳහා මහජන සුභසාධනයට මුවාවී මේ මුදල් ප්‍රාදේශීය සභා හරහා වියදම් කර තිබෙනවා. මේ පිළිබඳව විගණන අංශ වහා පරීක්ෂණයක් ආරම්භ කළ යුතුයි.
ඉදිරියේ පැවැත්වෙන පළාත් සභා මැතිවරණයෙන් පසුව බලයට පත්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභාව යටතේ පළමු කාර්යයක් සේ සළකා මේ මුදල් අවභාවිතය පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කරනවා. ඊට වගකිව යුත්තන්ට නියත වශයෙන්ම දඬුවම් දීමටත් පියවර ගන්නවා.
රජයේ මුදල් වියදම් කිරීමේ ක්‍රමවේදයට අනුව මෙවැනි කටයුත්තක දී ටෙන්ඩර් ක්‍රමවේදයට අනුව අවසන් ගෙවීම සඳහා අවම වශයෙන් මාස තුනක කාල සීමාවක්වත් ගත වෙනවා.
එසේ තිබියදි මසකටත් අඩු කෙටි දින කිහිපයක් ඇතුළත රැපියල් කෝටි ගානක් වියදම් කර සිදුකළා යැයි කියන මාර්ග ඉදිකිරිම් නඩත්තුව හෝ වෙනත් සුභ සාධන කටයුතු සඳහා මෙතරම් මුදලක් වියදම් කලා යැයි කෙසේවත් සිතිය නොහැකියි. මෙය කිසිසේත් ප්‍රායෝගිකත් නැහැ.
එවැනි නීති රාමුවක් තිබිය දී මේ සිදුකර ඇති මහා මුදල් වංචාව පිළිබදව කඩිනමින් විමර්ශනයක් සිදුකළ යුතු බවද රංජිත් සමරකෝන් මහතා මෙහිදි පැවසිය.
උතුරු මැද පළාතේ හටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් මහතා සිදුකරන මෙම චෝදනාව සම්බන්ධයෙන් අප උතුරුමැද පළාත් පාලන කොමසාරිස් එම්.කොඩිප්පිලි ආරච්චි මහත්මිය ගෙන් සිදුකළ විමසුමේදි කොමසාරිස්වරිය මෙසේ පැවසුවාය.
ඒ ඒ ප්‍රාදේශීය සභාවලින් සිදුකළ ඉල්ලිම් මත උසාවි දඩ මුදල් සහ මුද්දර ගාස්තු ආණ්ඩුකාර තුමාගේ නිර්දේශය මත පළාත් භාණ්ඩාගාරයෙන් එම ප්‍රාදේශීය සභාවලට යවා තිබෙනවා.එම මුදල් අයිති වන්නේ ප්‍රාදේශීය සභාවලට.
මිට අමතරව ප්‍රධාන අමාත්‍යාංශය මගින්ද විවිධ ව්‍යාපෘති සදහා ප්‍රාදේශීය සභාවලට මුදල් ලබාදී තිබෙනවා. ඒ හැරෙන්නට තම දෙපාර්තමේන්තුවෙන් මෙම කාලය තුළ මුදලක් ප්‍රාදේශීය සභා වෙත ලබා නොදුන් බවද කොමසාරිස්වරිය සඳහන් කළාය.