පළාත් ඡන්දය ඉක්මන් කරන්න ඒකාබද්ධයෙන් බලපෑම්


සුජිත් හේවාජුලිගේ සහ නාලක සංජීව දහනායක 
 
දැනට විසුරුවා ඇති පළාත් සභා තුනේ ඡන්ද කඩිනමින් පැවැත්වීම සඳහා රජයටත් මැතිවරණ කොමසාරිස්වරයාටත් ප්‍රබල බලපෑමක් කිරීමට අද (24) පැවැත්වුණු ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී තීරණය කෙරිණි.
 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ මහතාගේ කොළඹ විජේරාම මාවතේ පිහිටි නිවසේදී මෙම රැස්වීම පැවැත්විණි.
 
මෙයට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ මෙවර මැයි රැලිය ගාල්ලේදී  ඉතා උත්කර්ෂවත් ආකාරයෙන් පැවැත්වීමටත් , 20වැනි සංශෝධනය, ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රිලනිප ඇමතිවරුන් විපක්ෂයට එක්වීමට ගෙන ඇති තීරණය සහ ලබන 8 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරය ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරුණු බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ලංකාදීපයට පැවැසීය.
 
පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමීම නිසා උද්ගතවී ඇති ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ලබන 4 වැනිදා හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමටත් මෙහිදී තීරණය කෙරුණු බව ගුණවර්ධන මහතා කීය.
 
ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රිලනිප ඇමතිවරු 16 දෙනා පැහැදිලිව සාකච්ඡාවකට පැමිණි පසුව ඒ පිළිබඳ තීරණයක් ගැනීමට ද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් තීරණය කර ඇත.