පළාත් ක‍්‍රිකට් තරගමාලා අහෝසි කිරීමේ යෝජනාවක් ?


ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙතෙක් පවත්වාගෙන ආ පළාත් ක්‍රිකට් තරගමාලා අහෝසිකර පැරණි ක‍්‍රමය අනුව දිස්ත‍්‍රික් තරගමාලා පමණක් පැවැත්වීමට යෝජනාවක් ඉදිරිපත්වී ඇතැයි වාර්තා වේ. එහිදී දැන් පැවැත්වෙන අන්තර් පළාත් විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය, අන්තර් පළාත් තෙදින තරගාවලිය, අන්තර් පළාත් වයස 15 න් පහළ තරගාවලිය, අන්තර් පළාත් වයස 17 න් පහළ තරගාවලිය හා අන්තර් පළාත් වයස 19 න් පහළ තරගාවලිය අහෝසි කර දැමේ. ඒ වෙනුවට දිස්ත‍්‍රික් මට්ටමින් තරග මාලා දිගටම පවත්වාගෙන යා යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ. ක‍්‍රිකට් අතුරු කමිටු පාලන සමයේදී අන්තර් පළාත් තරගමාලා ආරම්භ විය. කෙසේ වුවත් ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ බලධාරීන් මේ සම්බන්ධයෙන් තවමත් අවසන් තීරණයකට පැමිණ නැත. එහෙත් ක‍්‍රිකට් ආයතනයේ ඉහළ බලධාරියකු ඇතුළු නිලධාරීන් පිරිසක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප‍්‍රකාශ කර ඇත්තේ අන්තර් පළාත් තරගමාලා දිගටම පවත්වාගෙන යා යුතු බවකි. පළාත් තරගමාලා මගින් වඩාත් දක්‍ෂ ක‍්‍රීඩකයන් රටට හඳුනා ගැනීමේ අවස්ථාව උදාවී ඇතැයි ඔවුන්ගේ අදහස වී තිබේ. ක‍්‍රිකට් ආයතනයේ දැනට දීමනා ලබන පළාත් ක‍්‍රිකට් පුහුණුකරුවන් හා කළමනාකරුවන්ට බලපෑම් කිරීම සඳහා නව යෝජනාව ඉදිරිපත් කරන සමහරුන්ගේ යටි අරමුණ වී ඇතැයි ද මේ අතර චෝදනාවක් එල්ල වී තිබේ. ක‍්‍රිකට් ආයතනය ඉදිරි විධායක සභා රැස්වීමේදී නව යෝජනාව සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි ද වාර්තා වේ.