පළාත් කීපයකට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි


(ඩයනා උදයංගනී)

නිරිත දිග මෝසමේ බලපෑමෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල පවතින වැසි තත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (4) දිනයේදී විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

බස්නාහිර, සබරගමුව සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ට වැඩි ඉතාතද වැසි ඇතිවිය හැකි බව ද එම ප්‍රකාශකයා සඳහන් කරයි.

සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව ද ඔහු කීවේය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.