පළාත් කිහිපයකට හෙට තද වැසි


ඩයනා උදයංගනී
 
දිවයින ආශ‍්‍රිතව පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පළාත් කිහිපයකට හෙට  දිනයේදී මිලිමීටර් 150 ට වැඩි ඉතා තද වැසි  ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
 
ඌව, මධ්‍යම සහ සබරගමුව පළාත් වලටත් ,  අම්පාර, මඩකලපුව සහ පොළොන්නරුව දිස්ත‍්‍රික්කවලටත් මෙම තද වැසි ඇතිවන අතර දකුණු, බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානයන්හි මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය පැවසුවාය.
 
දිවයිනේ බොහෝ පළාත්වල අහස වළාකුලින් බරව පවතින අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක‍්‍රියාකරන්නැයි ජනතාවට දැනුම්දීමක් කරන බවද ඇය පැවසුවාය.
 
මෙම තද වැසි තත්ත්වය අනිද්දා  වන පිට පහව යනු ඇතැයි ද ඇය සඳහන් කළාය.
 
දිවයින වටා ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප‍්‍රදේශවල මුහුදු ප‍්‍රදේශ විටින් විට රළු වන අතර ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 70-80 දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර හා නාවුක කටයුතුවලදී විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.