පළතුරු ඉදවීමට රසායනික ද්‍රව්‍ය යොදා නොගන්නා බව වෙළෙන්දෝ කියති


(විනීතා එම් ගමගේ)


රසායනික ද්‍රව්‍ය යොදා පළතුරු ඉදවීම මුළුමනින්ම නවත්වා දැමීමට මැනිං වෙළඳ පොළේ පළතුරු අලෙවිකරන වෙළඳුන් ඒකමතිකව තීරණය කර ඇත.


රටේ සියලූම ආර්ථික මධ්‍යස්ථානවල පළතුරු වෙළඳුන් ඉදිරියේ දී මේ සඳහා එක් කර ගන්නා  බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළඳ සංගමයේ ජාතික සංවිධායක එච් එම් උපසේන මහතා ලංකාදීපයට පැවැසීය.

මින් මතු කිසිදු අන්දමකින් රසායනික යොදා ඉදවූ පළතුරු නොවිකූණන බවත් අතීතයේ පළතුරු ඉදවූ දුම් පෙට්ටි යළි තමන් වෙත ලබා දෙන ලෙස කොළඹ මහ නගර සභාවෙන් ඉල්ලා සිටි බවත් උපසේන මහතා කීය. 


එමෙන්ම පළතුරු ඉදවීම  සඳහා බහුජාතික සමාගම්වලින් ලබා දෙන රසායනික සඳහා අනුමැතිය නොදෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යංශයට බලකර සිටින බවත්  හෙතෙම ප‍්‍රකාශ කළේය.


රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මඟ පෙන්වීම යටතේ මේ කටයුත්ත සිදු කළ බවත් ජෛව ජනන තාක්ෂණ ආයතනයේ අශෝක රන්වල මහතා ගේ උපකාර ද මත මෙම තීරණයට එළැඹීමට හැකිවූ බව කී උපසේන මහතා පළතුරු ඉදවීමේ දී තමන් රටට වස විස කවන බව වටහා ගත්තේ ඔවුන්ගේ දැනුම්වත් කිරීම්වලින් පසුව බව ද සඳහන් කළේය.


ගොවීන් වෙළඳුන් මෙන්ම පාරිභෝගිකයින් ද වර්තමානයේ ආහාර සමඟ ඇති විවිධ හානිකර දේ පිළිබඳ දැනුම්වත් වී සිටිය යුතු බවත් ඒවායින් වැළකීමට ගත හැකි උපරිම පියවර ගත යුතු බවත් පැවසූ උපසේන මහතා මැනිං වෙළෙඳ පොළේ 300 කට ආසන්න පළතුරු ගොවීන් ද 800 පමණ වූ එළවළු ගොවීන් ද ඒ වෙනුවෙන් කැපවී සිටින බව ද පැවැසීය.