පස් කතාව නොලියන්නැයි ඇඹිලිපිටියෙන් මාධ්‍යයට තහංචි


අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර
 
පස් මාෆියාවක් සම්බන‍ධයෙන් උණුසුම් වූ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සම්බන‍ධීකරණ කමිටු රැස්වීම මාධ්‍යය  වාර්තා කළහොත් ඉදිරි කමිටු මාධ්‍යයට තහනම් කරන බව එහි සම සභාපතිවරු  එය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදියාට දැනුම් දුන්නේය.
 
දක‍ෂිණ අධිවේගී මාර්ගයට ගෙනයන පස්වලින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මුදල් ඉල්ලා ඇති බවට ඉදිරිපත් කළ ලිපියක් පෙන්වමින් අල්ලස් හෝ දූෂණ කොමිසමට එය ගෙනයන බවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතාන (එජාප) මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයත් සමග ඇඹිලිපිටිය ප්‍රාදේශීය සම්බන‍ධීකරණ රැස්වීම මහා ගාලගෝට්ටියක් බවට පත්විය. සම සභාපතිවරු ඉල්ලා සිටියේ සිද්ධිය වාර්තා නොකරන ලෙසයි.
 
කොලොන්න එක්සත් ජාතික පක‍ෂ ආසන සංවිධායක, සබරගමු පළාත් සභා හිටපු මන්ත්‍රී පී. අබේනායක සහ කොලොන්න ශ්‍රීලංකා නිදහස් පක‍ෂ ආසන සංවිධායක ශාන්ත රත්නායක යන මහත්වරුන්ගේ සම සභාපතිත්වයෙන් ඇඹිලිපිටිය නව නගරයේ නායකත්ව පුහුණු ජාතික මධ්‍යස්ථානයේ දි එය පැවැත්විනි.
 
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජ්‍ය, අර්ධ රාජ්‍ය ආයතන ප්‍රධානීන්, නගර සභා සහ ප්‍රාදේශීය සභා සභිකයන්ගෙන් මෙම කමිටුව සමන්විතය. ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්වරයා එහි ලේකම්වරයා ලෙස ක්‍රියා කරයි.
 
කමිටු රැස්විම කරගෙන යන අතරවාරයේ දී රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු  මන්ත්‍රී හේෂා විතාන මහතා පැමිණියේය. ඔහුට අසුනක් නොතිබූ අතර මාධ්‍යවේදින්ට වෙන්කළ අසුනක් ඔහුට පිරිනැමුනි. ඒ අවස්ථාවේ න්‍යාය පත්‍රයේ තැනීම් සම්බන‍ධ ශීර්ෂය මගහැර කැනීම් සම්බන‍ධ ශීර්ෂය සාකච්ඡාවට ගැනුනි. ඒ අවස්ථාවේ හේෂා විතාන මන්ත්‍රීවරයා නැගී සිටිමින් දක‍ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ස`ඳහා ගෙන යන පස් සම්බන‍ධව පස් මාෆියාවක් ඇතැයි ප්‍රශ්න කරන්නට විය.
 
පනාමුර ප්‍රදේශයෙන් ගෙනියන පස් ටිපර් එකකින් විවිධ පුද්ගලයන් රුපියල් සීයය, දෙසීය  වැනි ආකාරයේ මුදල් අයකිරීම මෙම මාෆියාව බව මන්ත්‍රීවරයා හෙළි කළේය. එය අනුමත කරමින් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභික ජයවීර මාතරආරච්චි (පොහොට්ටුව) පැවසුවේ මෙම කමිටු රැස්වීමේ මුල් පෙළේ වාඩිවී සිටින අයත් මේ පස් මාෆියාවට සම්න‍ධදැයි දන්නේ නැති බවයි.
මුලාසනයේ සිටි ශාන්ත රත්නයක මහතා පැවසුවේ තමන් ඊට සම්බන‍ධ නැති බවයි. හේෂා විතාන මන්ත්‍රීවරයා පැවසුවේ සම සභාපති පී. අබේනායක මහතා ද ඊට සම්බන‍ධ නැති බවයි.
 
ඒ අනුව පස්කැපීම සම්බන‍ධයෙන් කමිටුවක් පත්කර තීරණයක් ගන්නා තුරු පස් කැපීම නැවැත්වීමට කමිටුව තීරණයක් ගත්තේ ය. මෙහිදී සභාවෙන් පැවසුනේ හම්බන්තොට ප්‍රදේශයේ කොන්ත්‍රාත් සමාගමක් සහ ඇඹිලිපිටිය ප්‍රදේශයේ නීතීඥවරයෙක් මෙම පස් කැපීමේ සිද්ධියට සම්බන‍ධ බවයි.
 
එවිටම වාගේ නීතීඥවරයෙක් ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීමට පැමිණියේය. සභාවේ සිටි පිරිස ‘ඔන්න බඩු එනවා..‘, ‘ඔය එන්නේ බඩු තමා...‘ වැනි වදන් කියන්නට විය. එම වදන් නොතකා පැමිණි නීතීඥවරයා හේෂා මන්ත්‍රීවරයාට ලිපියක් දුන්නේය.
 
එම ලිපිය කියවමින් ශේෂා මන්ත්‍රීවරයා පැවසුවේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ ලිපි ශීර්ෂයක් භාවිතා කරමින් ආදාල කොන්ත්‍රාත් සමාගමෙන් ් මුදල් ඉල්ලා ඇති බවයි. නීතීඥවරයෙකුගේ බිරිඳකගෙන් ද මුදල් ඉල්ලා ඇති බවක් ද කීවේය. තමන් මෙම ලිපිය අල්ලස් හෝ දූෂණ කොමිසමට ඉදිරිපත් කර පැමිණිල්ලක් කරන බවද කීවේය.
 
එහිදී නැගී සිටි ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ.අමිල (පොහොට්ටුව) මහතා ප්‍රාදේශීය සභාවේ ලිපි ශීර්ෂයකින් අදාල කොන්ත්‍රාත් සමාගමෙන් මුදල් ඉල්ලූවේ පුද්ගලික පරිහරණයට ලබාගැනීමට නොව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පිහිටා ඇති ටැම්පිට විහාර සංවර්ධනය කිරිමට ආරම්භ කර ඇති අරමුදලකට බැර කිරිමට බවයි. එසේ සංවර්ධනය කළ යුතු ටැම්පිට විහාර නාමලේඛනයක් ද තමන් සතු බව එම්.කේ. අමිල මහතා කීවේය. හේෂා මන්ත්‍රීවරයා අත තිබූ ලිපිය සභාගත කරන ලෙස ද එම්.කේ. අමිල ඉල්ලා සිටියේ ය.
 
නමුත් හේෂා මන්ත්‍රීවරයා එය සභාගත් නොකළේය. මේ අවස්ථාව් කසුකුසුවක් සභාවේ ඇතිවූ අතර පසුව එය මහා ගාලගෝට්ටයක් බවට පත්විය. දේශපානඥයින් එකිනෙකා පරයමින් කතා කරන්නට විය. සභාව උණුසුම්ව ගියේ ය. 
  
පොලීසිය නියෝජනය කරමින් කමිටුවට පැමිණ සිටි පොලිස් පරීක‍ෂක නිරෝෂණ මහතා සභාව නිහ`ඩ කිරිමට උත්සාහ ගත්තේය. පළාත් පාලන ආයතන සභිකයන් ඊට විරුද්ධ විය. නමුත් සභාවේ සිටි පිරිස ලොකු අත්පොළසන් නාදයක් දුන්නේ ය. මේ සභාව පාලන කරන්නට පොලිසිය අවශ්‍ය වන්නේ සම සභාපතිවරුන්ගේ කොන්ද පන නැතිකම නිසාදැයි ජයවීර මාතරආර්ච්චි සභිකයා ප්‍රශ්න කළේය. ඒවන විටත් රැස්වීම පැවති ශාලාව වටේට පොලීසිය කැ`දවා තිබූ අතර එක් නිලධාරියෙක් ඇතුළට ද පැමිණියේය. සම සභාපති පී. අබේනායක මහතා ප්‍රදේශීය ලේකම්වරයා හරහා පොලීසිය ඇතුළට නොපැමිණෙන ලෙස දැනුම් දුන්නේය.
 
ගාලගෝට්ටිය නැවතී රැස්වීමේ වැඩ ද අවසන්ව තිබූ නිසා එහි සිටි මාධ්‍යවේදියෙකු සම සභාපති පී. අබේනායක මහතාගෙන් විමසුවේ ප්‍රාදේශීය සම්බන‍ධීකරණ කමිටු රැස්වීමට නීතීඥවරයෙකුට පැමිණිය හැකි ද යන්නයි. එවිට අබේනායක මහතා පැවසුවේ දැන් ඒ ප්‍රශ්නය අවසන් නිසා එය මාධ්‍යයේ පළකළ යුතු නැති බවයි. සම සභාපති ශාන්ත රත්නායක මහතා ද එය අනුමත කළේය. මාධ්‍යවේදියා එම පැනය කමිටු ලේකම් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් ප්‍රසන්ග උදයකාන්ත මහතා වෙත යොමු කළත් ඔහු මුණිවත රැකීය. මේ අවස්ථාවේ සම සභාපතිවරු දෙපළ පැවසුවේ මෙම සිද්ධිය මාධ්‍ය මගින් අනාවරණය කළහොත් ඊළ`ග රැස්වීමට මාධ්‍යවේදියාට එන්නට ඉඩ නොදෙන බවයි.