පවුල් 7200 ක් තමිල්නාඩුවේ පුරවැසිකම ඉල්ලති


( තිළිණි ද සිල්වා )

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගත පවුල් 39,730 ක පිරිසකගෙන් පවුල් 7200 ක් ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ පුරවැසිකම ලබාදෙන මෙන් තමිල්නාඩු බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇතැයි තානාපති ආරංචි මාර්ග කියයි. 

ඔවුන් ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි කාරණය වශයෙන් සඳහන් කර ඇත්තේ යුදසමයේදී ඔවුන් ජීවත් වූ ගම්මාන හා ඉඩම් වෙනත් පිරිස් අල්ලාගෙන තිබීම නිසා ඔවුන්ට ජීවත් වීමට ස්ථානයක් නොමැති බව එම ආරංචි මාර්ග වල වැඩිදුරටත් සඳහන් කර සිටී. 

තමන්ට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ පුරවැසිකම ලබාදෙන මෙන් තමිල්නාඩු ප්‍රන්ත නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් මහතා වෙත ඉදිරිපත් කර ඇති කරුණුවල සඳහන් කොට ඇත්තේ තමන්ගේ දරුවන් තමිල්නාඩු ප්‍රන්තයේ විශ්වවිද්‍යාලවල හා ඩිප්ලෝමා ලබාදෙන ආයතනවලින් අධ්‍යාපනය හදාරා සිටින බැවින් ආපසු ශ්‍රී ලංකාවට ගොස් ඊට ගැලපෙන අන්දමේ රැකියාවන් ලබා ගැනීම දුෂ්කර කාර්යක් බවයි. 

එමෙන්න දැනට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයින්ගෙන් විශාල පිරිසක් ඉන්දීය ධීවරයින් සමඟ ධීවර කර්මාන්තයේ සහ විවිධ කර්මාන්ත ශාලා වල සේවය කරන බවද ඔවුන් සඳහන් කොට තිබේ. 

තමිල්නාඩු ප්‍රන්ත නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය ඕ.පනීර්සෙල්වම් මහතා ගෙන් කළ ඉල්ලීමට ඔහු පිළිතුරු වශයෙන් ප්‍රකාශ කොට ඇත්තේ ඉන්දීය මධ්‍යම රජය සමඟ සාකච්ඡා කොට මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා දෙන බවයි.