පලාලි ගුවන්තොට ජාත්‍යන්තර ගුවන්තොටක් ලෙස සංවර්ධනයට පියවර


(මනෝජ් හර්ෂික)
 
පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන තිබේ.
 
ඒ අනුව එළඹෙන අගෝස්තු මාසය වන විට පලාලි ගුවන් තොටුපළ හරහා ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට හැකිවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.
 
මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජනය කෙරෙන මුදල රුපියල් මිලියන 2 250ක් වන අතර ඒ සඳහා ශ්‍රී ලංකා රජයෙන් රුපියල් මිලියන 1,950ක් සහ ඉන්දීය ආධාර ලෙස රුපියල් මිලියන 300ක් වශයෙන් මේ සඳහා බැර කෙරේ.
 
එසේම ප්‍රධාන අධියර තුනක් යටතේ මෙම ගුවන් තොටුපළ සංවර්ධනයට පියවර ගැනේ. ඒ අනුව මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ගුවන් තොටුපළින් සිදු කෙරෙන ගුවන් ගමන් සඳහා අවම මිල ගණන් යටතේ ගුවන් ටිකට්පත් ද මහජනතාවට නිකුත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.