පරීක්ෂණවලට උපරිම සහාය දෙනවා - විජයකලා ඉල්ලා අස්වෙමින් කියයි


එෆ් අස්ලම්
 
තමා සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනවලට සහයෝගය දැක්වීමක් ලෙස විමර්ශන අවසන් වන තෙක් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති, අගමැති සහ කතානායකට යොමු කළ බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ලංකාදීපයට පැවසුවාය.

 
‘‘අද හවස 5.30ට පමණ මම ඉල්ලා අස්වීම අගමැති ජනාධිපති සහ කතානායක වෙත යොමු කළා. කතානායකවරයා පරීක්ෂණයක් සිදු කරන ලෙස නීතිපතිට දැනුම් දී තිබුණා. පරීක්ෂණ අවසන් වන තෙක් පරීක්ෂණවලට සහාය දැක්වීමක් ලෙස මම රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් වෙනවා.  එම විමර්ශනවලට මම පූර්ණ සහාය ලබා දෙනවා.
 
මම යාපනයේ කළ කතාව ඇතැම් මාධ්‍ය පරිවර්ථනයේ දී විකෘති කර තිබුණා. නමුත් ලංකාදීපයේ එසේ විකෘති කර තිබුණේ නෑ. පරිවර්තනය කරද්දී සුලු අතපසුවීමකින් පවා අර්ථය විශාල වශයෙන් වෙනස් වෙනවා. මේ කතාවත් එලෙස තමයි වෙලා තිබුණේ.
 
ජාතිවාදය වැපිරීම හෝ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමට මට උවමනාවක් තිබුණේ නෑ. මට උවහනාව තිබ්බේ එදා සහ අද වෙනස පෙන්වීමට පමණයි. අද උතුරේ අපරාධ වැඩි වෙලා.   එය  පෙන්වන්නයි අවශ්‍ය වෙලා තිබුණේ. එමගින් ජනතාවට අවශ්‍ය ආරක්ෂාව අත්කරදීමයි මට අවශ්‍ය වෙලා තිබුණේ.   ඉදිරියේදී හෝ උතුරේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන්න ආණ්ඩුව කටයුතු කරන්න ඕනෑ. 
 
යහපාලන ආණ්ඩුව හරහා ඉදිරියටත් උතුරේ නතාවට සේවයක් කර දීමට බලාපොරොත්තු වෙනවා. මගේ කතාවේ නීතිමය තත්ත්වය කුමක්දැයි විමර්ශකයක් තීරණය කළ පසු වැඩි යමක් කිව හැකියි. ‘‘ යැයි ද ඇමැතිවරිය කීවාය.