පරීක්ෂණයට සාධාරණ කමිටුවක් ඉල්ලයි


ස්වාධින හා අපක්ෂපාත විනිශ්චය සභාවක් පත් කරන තුරු ශිරාණි බණ්ඩාරනායක අග විනිසුරුවරියට එරෙහි චෝදනා විභාග කිරීම අත්හිටුවන්නැයි නීලකන්දන් නීතිඥ සමාගම චමල් රාජපක්ෂ කතානායකට අද ලිඛිතව දැනුම් දුන්නේය. අගවිනිසුරුවරියගේ නීතිඥවරුන් වශයෙන් මෙම ලිපිය ඉදිරිපත් කරන බවත් ඇය පාර්ලිමේන්තු තේරීම් කාරක සභවෙන් ඉවත් වූ බවත් ඊට හේතු ද දක්වා ඇති බවත් එම සමාගමේ ලිපියේ සඳහන් වේ. අග විනිසුරුවරියට එරෙහි චෝදනා පදනම් විරහිත බව ද පහසුවෙන් ම ඇයට තම නිර්දෝෂි බව ඔප්පු කළ හැකි බව ද නීතිඥ සමාගම කියයි. මෙම ප්‍රශ්නයේ බලපෑම අග විනිසුරුවරියට වඩා ශ්‍රී ලංකාවේ අධිකරණයට හා රටවැසියන්ට බලපාන්නේ යැයි ද එහි දැක්වෙයි. ඇයට එරෙහි චෝදනා  සාධාරණ හා අපක්ෂපාත විනිශ්චය සභාවක් ඉදිරියේ විභාග කරන ලෙස ඉල්ලා සිටීමේ අයිතියක් පර්මාධිපත්‍යය හිමි ජනතාවට ඇතැයි ද එහි සඳහන් වෙයි.