(නිමල කොඩිතුවක්කු)
වැටුප් වැඩිකිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් සහකාර වෛද්‍යවරු , හෙද නිළධාරීන් , පරිපූරක සේවා සහ අතුරු වෛද්‍ය සේවා නිළධාරීන් 22 වන බදාදා සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
පුංචි බොරුල්ලේ පිහිටි රජයේ හෙද නිළධාරීන්ගේ සංගම් කාර්යාලයේ අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය සේවා වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය මහතා මේ බව පැවසීය.
සෞඛ්‍ය සේවාවේ වැටුප් විෂමතා නිවැරදි කිරීම , හිඟ අතිකාළ දීමනා ගෙවීම, දැනට ගෙවන අතිකාල දීමනා කප්පාදු කිරීමට සෞඛ්‍ය ලේකම්වරයා ගෙන ඇති තීරණය අහොසි කිරීම ඇතුලූ ඉල්ලීම් රැසක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක‍්‍රියාමාර්ගයේ නිරත වන බව කියයි.
හිඟ අතිකාළ දීමනා ලබාදෙනතෙක් හෙට පෙරවරුවේ සිට අනුරාධපුරේ මහරෝහලේ අඛණ්ඩව වර්ජනයක නිරත වන බවද හෙතෙම තවදුරටත් පැවසීය.

