පරිපාලන සේවා විභාග ප්‍රතිඵල ගැන විමර්ශනයක්


බිඟුන් මේනක ගමගේ 
 
ශ්‍රී ලංකා පරිපාලන සේවාවේ සීමිත තරග විභාගයේ ලිඛිත පරීක්ෂණයේ ප්‍රතිපල සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝගය මත විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. 
 
පරීක්ෂණයේ ප්‍රතිපල සම්බන්ධයෙන් කර ඇති පැමිණිලි කීපයක් මත මෙම විමර්ශනය ආරම්භ කර ඇතැයි ද ඒ බව රාජ්‍ය සේවා කොමිසමට දන්වා ඇතැයි ද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
 
ලංකා පරිපාලන සේවයේ පුරප්පාඩු 46ක් සීමිත ප්‍රවාහය ඔස්සේ සම්පූර්ණ කිරීම සදහා පසුගිය වසරේ ඔක්තෝබර් 8 හා 14 යන දෙදින මෙම ලිඛිත පරීක්ෂණය පැවැත්විණි.
 
ලිඛිත පරීක්ෂණයෙන් ඉහළ ලකුණු ලබා සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබූවන්ගේ ලැයිස්තුවක් පසුව ජූලි මස  6 වැනිදා රාජ්‍ය පරිපාලන, කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශ ලේකම්වරයාගේ අත්සනින් යුතුව එකී අමාත්‍යාංශ වෙබ් අඩවියේ පළ කළේය. 
 
මේ අතර අදාළ ලිඛිත පරීක්ෂණයෙන් සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබූවන් පිරිසක් මෙසේ විමර්ශනයක් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට බලයක් නැතැයි ද එය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ බලය අභියෝගයට ලක් කිරීමක් යැයි ද පවසමින් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාට ලිඛිතව පැමිණිලි කර ඇත.