පර්පචුවෙල් වත්කම් තුන්වන පාර්ශ්වයකට පැවරීම වළක්වන නියෝගයක්


ශෙහාන් චාමික සිල්වා
 
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ වත්කම් තුන්වැනි පාර්ශ්වයකට පැවරීම, තෑගි දීම, බැහැර කිරීම ආදිය වලක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරන්ත මහත්මිය අද  නියෝගයක් නිකුත් කළාය.
 
නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් වසන්ත කෝදාගොඩ මහතා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් විමර්ශනයට සහාය දැක්වීමක් ලෙස මහේස්ත්‍රාත්වරිය එම නියෝගය කළාය.
 
බැඳුම්කර වංචාවට අදාළව මුලින්ම බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ අද දිනයේ වන අතර නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් වසන්ත කෝදාගොඩ මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසක් ද අද පෙනී සිටියහ.
 
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ලබන 15 වැනිදාට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රාන් මහතාට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය එම නියෝගයේ ඉංග්‍රීසි පිටපතක් සංගප්පූරුවේ අන්තර්ජාතික පොලිසිය  මගින් මහේන්ද්‍රන් මහතාට ලැබීමට සලස්වන ලෙස ද නියෝග කළාය.