පර්පචුවල් ලොක්කාගේ පෙත්සමේ නම් සංශෝධනය කරන්න අවසර


(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම සම්බන්ධයෙන් කිසිඳු පරීක්‍ෂණයක් නොපවත්වා බැඳුම්කර ගනුදෙනු කිරීමට තම සමාගමට දී තිබු බලපත‍්‍රය මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් අත්හිටුවීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරීවරයා පවරා ඇති පෙත්සමේ වගඋත්තරකරුවන්ගේ නම් සංශෝධනය කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය එම සමාගමට අද (13) අවසර දුන්නේය.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ගාමිණි මාරපන මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ඒ සඳහා අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම ලබන 19 වැනි දා විභාග කිරීමට තීරණය කළේය.

අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලදී.

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එහි අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය සහ නීතීපතිවරයා නම් කොට ඇත.