පර්පචුවල් ට්‍රෙෂරීස් ලොක්කාගේ නඩුව විභාගයට නොගෙනම විසිකරයි


(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ) 

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් කිසිම පරීක්‍ෂණයක් නොපවත්වා බැඳුම්කර ගනුදෙනු කිරීමට තම සමාගමට දී තිබු බලපත්‍රය මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් අත්හිටුවීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිනම් උල්ලංඝණය වී ඇතැයි පවසමින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා පවරා ඇති පෙත්සම විභාගයට නෙගෙනම ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නිශ්ප්‍රභා කළේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම කිසිඳු පදනමක් නොමැති බව සඳහන් කරමින් පෙත්සම විභාගයට නෙගෙනම මෙලෙස නිශ්ප්‍රභා කෙරිණි. අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, බුවනෙක අළුවිහාරේ සහ නලීන් පෙරේරා යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවන ලද අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගනිමින් මෙම පෙත්සම විභාගයට නෙගෙනම මෙලෙස නිශ්ප්‍රභා කළේය.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අර්ජුන් ඇලෝසියස් මහතා විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව එහි අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරුන් තිදෙනා, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය සහ නීතීපතිවරයා නම් කොට ඇත.

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම දීර්ඝ කාලයක් පුරා මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනු ව්‍යාපාරික කටයුතු වල නිරත වු බවත් තම සමාගම සම්බන්ධයෙන් කිසිඳු පරීක්‍ෂණයක් නොපවත්වා බැඳුම්කර ගනුදෙනු කිරීමට තම සමාගමට දී තිබු බලපත්‍රය මහ බැංකුවේ මුල්‍ය මණ්ඩලය විසින් අත්හිටුවා ඇති බවත් දැනුම් දී ඇති පෙත්සම්කරු එලෙස තම සමාගමේ බලපත්‍රය අත්හිටුවීමෙන් තමන්ගේ මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇතැයිද පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කොට ඇත.

මෙම පෙත්සම කැඳවනු ලැබු අවස්ථාවේදී වගඋත්තරකාරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කොට ඇත්තේ කිසිඳු පදනමක් නොමැතිව බව සඳහන් කරමින් මෙම පෙත්සම විභාගයට  නොගෙනම  නිශ්ප්‍රභා කරන්නැයි ඉල්ලා සිටියේය.